Tuesday, February 16, 2010

Fwd: ජංගම දුරකථන භාවිතයේ සැක සංකා



ජංගම දුරකථන භාවිතයේ සැක සංකා

සංඛ්‍යාලේඛනවලට අනුව ශ්‍රී ලංකාව තුළ ජංගම දුරකථන භාවිත කරන පාරිභෝගිකයන් ගේ සංඛ්‍යාව දළ වශයෙන් මිලියන දහ තුනකට ආසන්න ය. ප්‍රතික්‍ෂේප කළ නොහැකි සමාජ සන්නිවේදන මෙවලමක්‌ වූ ජංගම දුරකථනය මඟින් මානව සෞඛ්‍යය වෙත මුදාහැරෙන කම්පනයෙහි සවභාවය කුමක්‌ විය හැකි ද? සබුද්ධික ලෙයින් ජංගම දුරකථන භාවිත කරන්නේ කෙලෙසින් ද?

BMJ (British Medical Journal) සහ NEJM (New England Medical Journal) යනු බටහිර වෛද්‍ය විද්‍යා ක්‍ෂෙත්‍රයේ ඉහළ ම පිළිගැනීමකට ලක්‌ වන වෛද්‍ය පර්යේෂණ ප්‍රකාශන යුගලකි. වර්ෂ 2000 මැදභාගයේ දී මෙකී සඟරා යුගල ම විසින් එක ම සතියක්‌ තුළ අතිශය වැදගත් වූ වෛද්‍ය පර්යේෂණ කිහිපයක්‌ ම ප්‍රකාශයට පත් කරනු ලැබිණි.

මෙකී ලිපි සියල්ල මඟින් අවධානය යොමු කොට තිබුණේ ජංගම දුරකථන වෙතින් මානව වර්ගයා වෙත ඇති වන සෞඛ්‍යමය බලපෑම් කවරේ ද යන්න ය. සත්ත්ව නිදර්ශක ඇසුරු කරගනිමින් සිදු කළ ඇතැම් පර්යේෂණ සැකයකින් තොර ව ම පෙන්වා දී තිබුණේ ජංගම දුරකථන වෙතින් නික්‌මෙන තරංග මඟින් මොළයෙහි ස්‌නායු ක්‍රියාකාරිත්වය කෙරෙහි ඇති කරන අහිතකර බලපෑම ය.

එකී ලිපි මඟින් අවධානය යොමු කළ තවත් වැදගත් අමතර කරුණක්‌ තිබිණි. එනම් ජංගම දුරකථන කුලුනුවලින් නික්‌මෙන අධි සංඛ්‍යාත තරංග උස්‌ ගොඩනැඟිලිවල වැදී යළි "පොලා පැනීමේ දී" මානව සිරුරු වෙත සෞඛ්‍යමය බලපෑමක්‌ එල්ල වීමේ අනතුර ද බැහැර කළ නොහැකි බව දක්‌වා තිබීම ය. (සාමානයෙන් ජංගම දුරකථන කුලුනුවල "සම්ප්‍රේෂණ තැටි" ඉහළ උසකින් සවි කරනු ලැබුව ද අවිධිමත් ලෙස ඉදි කරනු ලැබූ උස්‌ ගොඩනැඟිලි සහිත නාගරික පරිසර තුළ දී මෙකී තරංග යළි මිනිස්‌ සිරුරු හා ගැටීමේ අවදානමක්‌ තිබේ).

මෙකී ලිපිවල අවසානයෙහි සටහන් ව තිබුණේ "තවදුරටත් මෙකී පර්යේෂණ සිදු වන" බවත් ස්‌ථිර නිගමනවලට එළැඹීම තවත් වසර කිහිපයකින් සිදු කළ හැකි බවත් ය. සිත්ගන්නාසුලු කරුණ වන්නේ වසර දහයක කාලයක්‌ ඉක්‌ම ගිය ද "තවදුරටත් සිදු කරනු ලැබූ" බොහෝ පර්යේෂණ ප්‍රතිඵල පැහැදිලි ලෙසින් හෙළිදරව් නො වීම ය. කෙසේ වෙතත් විද්‍යාත්මක ප්‍රජාව අතර පැතිර යන පොදු "ඕපාදූපය" වන්නේ ජංගම දුරකථන ව්‍යාපාරික ප්‍රජාවන් විසින් සත්‍යමය කරුණු ජනතාව වෙතින් වසන් කරනු ලැබ ඇති බව ය. (කෙසේ වෙතත් ජංගම දුරකථන භාවිත කිරීම මඟින් මොළයෙහි පිළිකා ඇති වන බවට වූ පැරැනි මතවාදය මේ වන විට ප්‍රත්ක්‍ෂේප වී තිබේ.)

මේ ලිපිය මඟින් උත්සාහ කෙරෙන්නේ පසුගිය වසර කිහිපය ඇතුළත මෙකී ක්‌ෂේත්‍රය තුළ සිදු වූ පර්යේෂණ මඟින් අනාවරණය වූ පදනමක්‌ ද සහිත කරුණු ගෙනහැර දැක්‌වීමකි.

ජංගම දුරකථනයක්‌ භාවිත කිරීමේ දී එමඟින් කිසියම් ප්‍රමාණයක උෂ්ණත්වයක්‌ මුදාහරිනු ලබයි. එහෙත් සිරුරට ඇති කරන අහිතකර බලපෑමට ප්‍රධානතම හේතුව වන්නේ උෂ්ණත්වයෙහි බලපෑමකින් තොර ව "රේඩියෝ තරංග" ඇති කරන කැළඹීම ය. (Non Thermal Effect).

අත්‍යවශ්‍ය හදිසි අවස්‌ථාවක දී හැරෙන්නට
කුඩා දරුවන් ජංගම දුරකථන භාවිතය සඳහා
දිරිමත් නො කරන්න


කුඩා දරුවන් ගේ හිස්‌කබලෙහි අස්‌ථිවල ඝනකම වැඩිහිටියන් හා සසඳන කල අඩු ය. එසේ ම කුඩා දරුවන් ගේ මොළය ආශ්‍රිතව පවතින තරල ප්‍රමාණය ද පටකමය කොටසට වඩා වැඩි ය. දියරමය සවභාවයක්‌ සහිත මොළය හරහා විද්යුත් තරංග විනිවිද ගමන් කිරීමේ හැකියාව ද වැඩි වන හෙයින් ඉන් මොළයට ඇති වන බලපෑම ද අධික ය. ජංගම දුරකථන භාවිතය මඟින් මොළයෙහි පිළිකා ඇති කරවන බවට මෙයට පෙර තිබූ මතවාදය මේ වන විට ප්‍රතික්‍ෂේප වී තිබුණ ද වෛද්‍ය පර්යේෂණ මඟින් සැකයකින් තොර ව ම පෙන්වා දී තිබෙන්නේ ජංගම දුරකථන විද්යුත් තරංග මඟින් ඇති වන බලපෑම මොළයෙහි ජීව විද්‍යාත්මක හා විද්යුත් ක්‍රියාකාරීත්වයන් කෙරෙහි දැඩි බලපෑමක්‌ ඇති කරවන බව ය.

නිදාගැනීමේ දී වුව කිසිදු විටක දී ජංගම දුරකථනය හිසට සමීපව තබා ගැනීම හෝ කොට්‌ටය යටින් තබාගැනීම ද ආරක්‍ෂා සහිත නො වේ.

ගැබිනි මවුවරුන් ජංගම දුරකථන භාවිත කිරීමෙන් වැළකී සිටීම වඩාත් නැණවත් ක්‍රියාමාර්ගයක්‌ වන්නේ එමඟින් නික්‌මෙන තරංග කුස තුළ වැඩෙන දරුවා ගේ වර්ධනය කෙරෙහි ද බලපෑමක්‌ ඇති කිරීමට අවදානමක්‌ පවතින හෙයිනි. කුඩා දරුවන් ඇකයෙහි රඳවාගන්නා අවස්‌ථාවල දී වුව වැඩිහිටියන් ජංගම දුරකථන භාවිතයෙන් වැළකී සිටීම වඩාත් හිතකර ය.

ජංගම දුරකථන සංවාද සඳහා
ගත කරන කාලය සීමා කරන්න


විනාඩි දෙකක ජංගම දුරකථන ඇමතුමක්‌ මඟින් මොළයෙහි සාමාන්‍ය විද්යුත් ක්‍රියාකාරීත්වය පැයක කාලයක්‌ දක්‌වා වියවුල් කරනු ලබයි. ඇතැම් පර්යේෂණ මඟින් පෙන්වා දෙන්නේ චින්ත ඒකාග්‍රතාව, මතකය වැනි තත්ත්වයන් කෙරෙහි එමඟින් බලපෑම් ඇති වන බවකි. දිගු සන්නිවේදන අවශ්‍යතාවන් සඳහා වඩාත් යෝග්‍ය වන්නේ සාමාන්‍ය ස්‌ථාවර දුරකථන විනා ජංගම දුරකථන නො වේ.

රැහැන් රහිත දුරකථන (Cordless phones) භාවිත නො කරන අවස්‌ථාවල දී පවා දැඩි විද්යුත් චුම්බක තරංග පරිසරය වෙත මුදාහරියි. ඇමතුමක්‌ හා සම්බන්ධ වන සැම විට ම, සිරුරට ඈතින් පිහිටන පරිදි ජංගම දුරකථන පිහිටුවා ගැනීම හිතකර වේ. ජංගම දුරකථනය යටත් පිරිසෙයින් සිරුරට සෙන්ටිමීටර 5ක්‌ (අඟල් 2ක්‌) ඈතින් වූ පිහිටීමක පවත්වාගන්නේ නම් එමඟින් නික්‌මෙන තරංග මඟින් සිරුරට ඇති වන බලපෑම 75%ක්‌ දක්‌වා පමණ අඩු වෙයි. එය සෙමී 18ක්‌ (අඟල් 7) ඈතින් තබාගැනීම මඟින්, ඇති වන බලපෑම 1% ප්‍රමාණයක්‌ දක්‌වා අවම කරගත හැකි වෙයි.

ජංගම දුරකථනයේ අභ්‍යන්තර ඇන්ටනාව
කිසිදු විටක දී හෝ සිරුර හා ස්‌පර්ශ නො වන
පරිදි භාවිත කරන්න


ජංගම දුරකථනය රැගෙන යැමේ දී ඉන පටියෙහි හෝ ඉන ආශ්‍රිත සාක්‌කුවෙහි තබාගැනීමෙන් වළකින්න.

80% ක්‌ තරම් වූ රතු රුධිර සෛල ප්‍රමාණයක්‌ උකුළු ඇටය ආශ්‍රිත ව වූ ඇටමිදුළු තුළ නිපදෙවයි. ජංගම දුරකථන තරංග රතු රුධිර සෛල නිපදවීම මෙන්ම ජනන ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය කෙරෙහි ද අහිතකර ලෙසින් බලපෑම් ඇති කරන බැව් විශ්වාස කෙරේ.

අත්බෑගය තුළ ජංගම දුරකථන රැගෙන යන විටක දී වුව එහි "අංකන පුවරුව" සහිත මුහුණත සිරුර දෙසට වන ලෙසින් තබාගන්න. මෙකී පිහිටීම මඟින් දුරකථනයේ තරංග මඟින් ඇති වන බලපෑම සිරුරෙන් ඉවතට දිශාත්මක වෙයි.

මෝටර් රථයක්‌, දුම්රියක්‌, විදුලි සෝපානයක්‌ හෝ ගුවන් යානයක්‌ වැනි "ලෝහමය ආවරණයකින්" වට වූ ප්‍රදේශයක්‌ තුළ ගත කරන අවස්‌ථාවන්වල දී ජංගම දුරකථන භාවිත කිරීමෙන් වැළකී සිටීම වඩාත් ආරක්‍ෂාකාරී වන්නේ ඇති වන තරංග යළි යළිත් දුරකථනය භාවිත කරන්නා හා ඒ අවට සිටින සෙසු පිරිස්‌ වෙත ද ළඟා වීමේ හැකියාවක්‌ පවතින හෙයිනි. (ලෝහමය අවරණයන් ගෙන් වට වූ ප්‍රදේශ" "ෆැරඩේ කුටීරයක්‌" ලෙසින් ක්‍රියාත්මක වෙයි.)

දුරකථන සංඥා (Signal) වඩාත් හොඳින්
පවතින ප්‍රදේශවල දී පමණක්‌ දුරකථන
ඇමතුම් ලබාගැනීමට කල්පනාකාරී වන්න


ජංගම දුරකථන සංඥාවක්‌ දුර්වල වන අවස්‌ථාවල දී දුරකථනය තම ධාරිතාව වැඩි කර ගැනීම පිණිස ප්‍රයත්න දරයි. එවන් විටක දී දුරකථනය වෙතින් විහිදෙන විද්යුත් තරංග ප්‍රමාණය ද සාමාන්‍ය අවස්‌ථාවකට වඩා වැඩි වෙයි.

වේගයෙන් ධාවනය වෙමින් පවතින වාහනයක ගමන් කරන විටක දී වුව ජංගම දුරකථන භාවිත කිරීම ආරක්‍ෂා සහිත නො වේ. මෙවන් විටක දී ජංගම දුරකථන තම බලය හා ධාරිතාව සමග ක්‍රියාව වැඩි කරගැනීමට සඳහා උත්සාහ කරයි. අසල ප්‍රදේශයේ පවතින ජංගම දුරකථන කුලුනු මධ්‍යස්‌ථානය සඳහා සම්බන්ධ වීම සඳහා එසේ සිදු කිරීම අත්‍යවශ්‍ය වෙයි.

රාත්‍රී කාලයේ දී ජංගම දුරකථන
ක්‍රියා විරහිත කර තබා ගැනීම වඩාත් සුදුසු වෙයි


ජංගම දුරකථන පමණක්‌ නො ව විද්යුත් ඔර්ලෝසු (Electric Clocks) වෙතින් පවා විහිදෙන තරංග මඟින් යහපත් නින්දක්‌ සඳහා අහිතකර බලපෑම් ඇති කරයි.

හිසට සහ කනට සෘජුව ම සම්බන්ධ
කෙරෙන ජංගම දුරකථන උපාංග (Headsets)
පැළඳීමෙන් වළකින්න


Headsets මෙන්ම ඒ හා සම්බන්ධව කනට සෘජුව ම සම්බන්ධ වන උපාංග වන Ear bubs ඇන්ටෙනා ලෙසින් ක්‍රියාත්මක වෙයි. මෙකී උපාංග හරහා විද්යුත් චුම්බක තරංග කන තුළින් මොළයට සෘජුව ම ළඟා වෙයි. මෙමඟින් සාමාන්‍ය ජංගම දුරකථනයක්‌ මොළය වෙත ඇති කරන බලපෑම තෙගුණයකින් වැඩි කරනු ලබයි. ජංගම දුරකථන මඟින් දිගු වේලාවක්‌ සංගීතයට සවන් දීම අනතුරුදායක බව මෙකී පසුබිම තුළ නිගමනය කළ හැකි වෙයි.

කෙසේ වෙතත් මෙකී අවදානම විශේෂිත වූ අමතර උපාංගයක්‌ සවි කරනු ලැබු headsets මඟින් අවම කළ හැකි වෙයි. මෙකී ආරක්‍ෂිත උපාංගය Ferrite beads ලෙසින් හැඳින්වෙන අතර එමගින් තරංග උරාගැනීමත්, තාපය ලෙසින් පිටතට මුදාහැරීමත් සිදු කරනු ලබයි.

උපරිම ආරක්‍ෂාව උදෙසා, ජංගම දුරකථන හා සමීප පිහිටුමක Ferrite beads උපාංගය පැවතිය යුතු වෙයි.

හැකිතාක්‌ දුරට "ස්‌පීකරයක්‌" සහිත ජංගම දුරකථන භාවිත කරන්න. ඇමතුමක්‌ ලබාගැනීමේ දී කිසිදු විටක දී හෝ කන ස්‌පර්ශ වන ලෙසින් ජංගම දුරකථන පරිහරණය නො කරන්න. විද්යුත් තරංග මඟින් ඇති කරන බලපෑම සෘජුව ම දුරකථනය හා සිරුර අතර පවතින් දුර මත රඳා පවතී. ඊකමැඑදදඑය උපාංගයන්හි භාවිතය යම්තාක්‌ දුරට ආරක්‍ෂා සහිත වුව ද එය ද සෘජුව ම කන හා හිස පෙදෙස සමග සම්බන්ධ වන හෙයින් ආරක්‍ෂා සහිත බව පිළිබඳ අවදානමක්‌ පැවතිය හැකි වෙයි.

ජංගම දුරකථන හෝ විද්යුත් ඔරලෝසුව වැනි උපකරණ අවම වශයෙන් හිසට අඩි 6ක්‌ පමණ වූ දුරකින් වූ ස්‌ථානයක පවත්වා ගැනීම යහපත් නින්දක්‌ සඳහා වූ පූර්වෝපායකි.

ජංගම දුරකථනයක්‌ මිල දී ගැනීමේ දී එහි ප්‍රමිතිය හා ආරක්‌ක්‍ෂා සහිත බව පිළිබඳව දැඩිව සැලකිලිමත් වන්න. ප්‍රමිතියකින් තොර ජංගම දුරකථන මිල දී ගැනීමෙන් වළකින්න

ජංගම දුරකථනයක SAR අගය (Specific Absorption Rate) අවම මට්‌ටමක නම් එය ආරක්‍ෂා සහිත ජගංම දුරකථනයක්‌ වන බව පොදු පිළිගැනීම ය. මේ අගය විමර්ශනය කිරීම සඳහා දුරකථනය මිල දී ගැනීමේ දී පිරිනමන අත්පොත (Manual) පරීක්‍ෂා කරන්න.

SAR අගය 0.14ට වඩා අඩු ජංගම දුරකථන ආරක්‍ෂා සහිත වන අතර වඩාත් අහිතකර ජංගම දුරකථනයක SAR අගය 1.6 තරම් වෙයි.

ජංගම දුරකථන යනු යුගයේ සන්නිවේදන අවශ්‍යතාවන් සපුරා ලන මෙවලමකි. නැණවත් ලෙසින් මෙකී මෙවලම භාවිත කිරීම පිණිස කිසිවකුත් බිය වියු යුතු ද නො වේ. කවර හේතුවක්‌ නිසා හෝ ඇති කරගන්නා බිය කායික හා මානසික හෝ රෝග තත්ත්වයන් බොහොමයක්‌ කෙරෙහි මග එළිපෙහෙලි කර දීමකි. ස්‌වකීය සෞඛ්‍යය මෙන්ම පොදු සෞඛ්‍ය ආරක්‍ෂණය පවත්වා ගැනීම උදෙසා ක්‍රියාත්මක වීම අප සතු වගකීමකි. වඩාත් වැදගත් වන්නේ සිදුවීමේ අවදානමක්‌ සහිත අනතුරු පිළිබඳව දැනුවත් ව සිටීමත්, ආරක්‍ෂාව උදෙසා අවස්‌ථාවෝචිත පරිදි පියවර ගැනීමත් පමණකි.

ලිපියෙහි අන්තර්ගත කිසිදු කරුණක්‌ වෛද්‍ය උපදේශයන් හෙවත් "මෙඩිකල් ඇඩ්වයිස්‌" ගණයට අයත් නො වේ. එහෙත් මෙකී කරුණු සියල්ල ම පිළිගත හැකි මට්‌ටමක පවතින විද්‍යාත්මක පදනමක්‌ සහිත කරුණු සමුදායක එකතුවකි.

ජංගම දුරකථනයේ ආදේශකය "වොසෙරා"

ජංගම දුරකථන මඟින් නික්‌මෙන තරංග වෛද්‍ය විද්‍යාත්මක ඉලෙක්‌ට්‍රොනික උපාංගයන්හි සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට අහිතකර ලෙස බලපෑම් ඇති කරවයි. හෘද රිද්මයෙහි ගැටලු සහිත රෝගීන් ගේ හදවත් රිද්මය නිවැරැදිව පවත්වා ගැනීම පිණිස සිරුරෙහි සවි කෙරෙන උපාංගය Pacemaker ලෙසින් හැඳින්වෙයි. මෙකී උපාංගය හෘද රෝගීන් ගේ උරසෙහි සමට යටින් ස්‌ථාපනය කෙරෙන්නක්‌ වන අතර මෙකී රොගීන් විසින් කිසිදු විටක දී හෝ ජංගම දුරකථන කමිස සාක්‌කු තුළ තබා ගැනීම ආරක්‍ෂා සහිත නො වේ. (අවම වශයෙන් උපකරණයට අඟල් 6ක්‌ ඈතින් වූ පිහිටුමක ජංගම දුරකථන පිහිටුවා ගැනීම සිදු කළ යුතු වෙයි.)

මේ වන විට එක්‌සත් රාජධානියේ බොහෝ රෝහල් තුළ ජංගම දුරකථන භාවිතය සීමාසහිත කර තිබේ. ප්‍රධාන රෝහල්වල වූ විශේෂිත සත්කාර ඒකක ආශ්‍රිතව ජංගම දුරකථන භාවිතය සපුරා අත්හිටුවා ඇත්තේ ද රෝගී ආරක්‍ෂාව සහතික කරනු පිණිස ය. වෛද්‍යවරුන් හා සෙසු රෝහල් කාර්ය මණ්‌ඩල සාමාජිකයන් අතර තොරතුරු හුවමාරුව සඳහා විකල්ප සන්නිවේදන උපකරණයක්‌ වූ Vocera මේ වන විට භාවිත කරනු දැකගත හැකි වෙයි. ජංගම දුරකථනයට වඩා ආරක්‍ෂා සහිත මෙකී උපකරණය ගෙළෙහි පැළඳගත හැකි අතර ස්‌පීකරයක්‌ ද සහිත වන හෙයින් ඇමතුමක්‌ ලබාගැනීමක්‌ හෝ සවන් දීම පිණිස උපකරණයෙහි පිහිටීම වෙනස්‌ කර ගැනීමක්‌ ද අනවශ්‍ය වෙයි. රෝහල් භූමිය තුළ දී පමණක්‌ ක්‍රියාත්මක වන මෙකී උපකරණ රොහල තුළ ම පවතින පරිගණක මෙහෙයුම් මැදිරියක්‌ හරහා පාලනය වෙයි. පොදු පණිවිඩ කාර්ය මණ්‌ඩල සාමාජිකයන් හරහා විසුරුවා හැරීමටත්, කෙටි පණිවිඩ යෑවීමටත් උපයෝගී කරගනු ලබන මෙකී උපාංගය මඟින් රෝහල් සේවකයා රෝහල් තුළ කිනම් ස්‌ථානයක සිටින්නේ ද යන්නත් හෙළිදරව් කරගත හැකි වෙයි.

වෛද්‍ය වරුණ ගුණතිලක
කායික රෝග විශේෂඥ
දියවැඩියා සහ නිර්නාළ රෝග ඒකකය
කිංස්‌මිල් රෝහල, නොටිංහැම්,
එක්‌සත් රාජධානිය.









No comments:

Post a Comment