Sunday, October 16, 2011

මැරයන්ට ඉඩදීලා රටක්‌ පාලනය කරන්න බෑ


මැරයන්ට ඉඩදීලා රටක්‌ පාලනය කරන්න බෑ!
ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ එස්‌. එල්. ගුණසේකර 


අපේ රටේ දේශපාලනය තුළ ප්‍රචණ්‌ඩ
මානසිකත්වයක්‌ ඇතිවීමට බලපෑ හේතු මොනවද?

අපේ රටේ ප්‍රචණ්‌ඩකාරී දේශපාලනය පටන් ගත්තේ අද ඊයේ නෙමෙයි. මෙය අපේ රටේ ක්‍රම ක්‍රමයෙන් වැඩිවුණු දෙයක්‌. අපට ආරංචි මාර්ගවලින් දැනගන්න ලැබුණු විදිහට ඉස්‌සර පැවැති දැදිගම මැතිවරණයේදී විශාල වශයෙන් මැර බලය පාවිච්චි කරල තියෙනව. ඩඩ්ලි සේනානායක මහතා මියගියාට පස්‌සේ පැවැත්වුණු දැදිගම අතුරු මැතිවරණයේදී රත්නසිරි වික්‍රමනායක දැදිගම ඕඅයිසීගෙ මේසෙ උඩ ඉඳගෙන හිටිය කියල අපටත් දැනගන්න ලැබුණා. 1977 මැතිවරණෙන් පස්‌සේ ඡේ. ආර්. ජයවර්ධන පොලිසියට නිවාඩු දීල විරුද්ධවාදීන්ට ගහන්න, ගෙවල් පුච්චන්න ඉඩ දුන්නා. ඡේ. ආර්. ගෙ ආණ්‌ඩුවට එරෙහිව තීන්දු දුන්න විනිශ්චයකාරවරුන්ගේ ගෙවල්වලට මැරයෝ ගල් ගහපුවම එදා ඡේ. ආර්. කිව්වේ ගල් ගහන එක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්‌ කියල. මිනිස්‌සුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කළ පොලිස්‌ නිලධාරීන්ට ඡේ. ආර්. එදා උසස්‌වීම් දුන්න. අපේ රටේ මැර දේශපාලනය පටන් ගත්තෙ මෙවැනි පූර්වාදර්ශවලින්.

1983 ජනමත විචාරණය ප්‍රචණ්‌ඩත්වයෙන් පිරිල තිබුණා. වයඹ අතුරු මැතිවරණය වගේ ප්‍රචණ්‌ඩත්වය ඉහවහ ගිය මැතිවරණ ගණනාවක්‌ අපේ ඉතිහාසයේ තියෙනවා. 1977 න් පස්‌සේ, රාජ්‍ය නායකයට ඒකාධිපති බලතල ලැබුණාට පස්‌සේ මේක දෙගුණ, තෙගුණ වුණා. කොහොම හරි මිනිස්‌සුන්ගෙ ඡන්දෙ අරගෙන පක්‍ෂ දිනවන මිනිහෙකුටයි අපේක්‍ෂකකම ලැබුණේ. අපේක්‍ෂකයන් කළුද සුදුද කියල බැලුවේ නෑ.

මන්ත්‍රීවරයෙක්‌ ජනතා නියෝජිතයෙක්‌ විදිහට පාර්ලිමේන්තුවට යවන්නෙ රටට හිතකර නීති පනවන්න. එහෙම නැතුව මස්‌කඩ වහන්න, බීම සාප්පු වහන්න නෙමෙයි. අද අපේ රටේ ප්‍රධාන පක්‍ෂ දෙකේම අපේක්‍ෂකම ලැබෙන්නෙ හොඳින් හරි නරකින් හරි ජනතාවගෙ ඡන්දෙ ගන්න පුළුවන් කෙනෙකුටයි. යූඇන්පිය එදා ශ්‍රීලනිපයෙ කුණුගොඩවල් ටික ගත්ත. මේ ආණ්‌ඩුව මෙදා යූඇන්පියෙ කුණු කසළ ගොඩවල් ඔක්‌කොම ටික ගත්ත. ඊයේ පෙරේදා කොලොන්නාවේදී වුණේ ඒකෙ ප්‍රතිඵලයක්‌.

සමහරු ඕකට දුමින්ද, භාරත ගැටුමක්‌ කියනව. ගැටුමක්‌ නෙමෙයි ඕක මිනීමැරුමක්‌. කීප දෙනෙක්‌ ඝාතනය වුණු බරපතළ සිද්ධියක්‌ වුණත් තවම නීතිය හරිහැටි ක්‍රියාත්මක වෙලා නෑ. ඒකට මම පොලිසියට දොස්‌ කියන්නෙ නෑ. පොලිසිය ක්‍රියාත්මක වෙන්නෙත් මේ දේශපාලන නායකත්වය යටතේ. පොලිස්‌ නිලධාරියෙක්‌ අද හරියට නීතිය ක්‍රියාත්මක කරන්න ගියොත් හෙට ඒ මනුස්‌සය එක්‌කො කලවංචිකුඩියෙ. නැත්නම් කෝට්‌ එක ගැලවිල ගෙදර. ඒ හින්ද මම නම් පොලිසියට දොස්‌ කියන්නෙ නෑ. ඒ මිනිස්‌සුන්ට අවංකව රාජකාරිය කරන්න ඉඩක්‌ නැත්නම් ඒ මිනිස්‌සු මොනව කරන්නද?

ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය විනාශ කළ මේ රජය රට තුළ සාමය සහ සදාචාරය යළි ස්‌ථාපිත කරන්නට පියවර ගන්නා බවට ජනතාව තුළ විශ්වාසයක්‌ ගොඩනැඟී තිබෙනවා. නමුත් ආණ්‌ඩුවේම දේශපාලනඥයන් දෙදෙනකු මෙලෙස මහමග මරා ගැනීම ඒ ජනතා විශ්වාසය බරපතළ පලුදු වීමකට ලක්‌විය හැකියි නේද?

මේ ආණ්‌ඩුවේ මේ පළමුවැනි එක නෙමෙයි. පහුගිය මැතිවරණයකදී කළුතර ඡන්ද කොට්‌ඨාසෙ එක මන්ත්‍රීවරයකුට මනාප ඡන්ද දුන්න ගම්මානයකට තවත් දේශපාලුවෙක්‌ ගිහින් ගහන්න පටන් ගත්තා. ඇමැතිවරු ගිහින් තමයි බේරගත්තෙ. ඔය මනාප ක්‍රමය හින්ද මොනතරම් විපතක්‌ මේ රටේ වුණාද? තවම මේක ඇයි තියාගෙන ඉන්නෙ. මේ ආණ්‌ඩුව කාලෙ මහනුවර දිස්‌ත්‍රික්‌කයෙන් මැරකම් කිහිපයක්‌ම වුණා. ආණ්‌ඩුව කළේ සුදුහුනු ගාපු එකයි. මොකක්‌ වුණත් කොමිටියක්‌ කියල ආණ්‌ඩුවේම ඇම්බැට්‌ටයෝ ටිකක්‌ දාල ඒක යට ගහනව. මර්වින් සිල්ව අහිංසක රජයේ සේවකයෙක්‌ ගස්‌ බැන්දහම ඇම්බැට්‌ටයො ටිකක්‌ දාල ඒක යට ගැහුව. ජනාධිපතිතුමත් මේවට ඉඩ දුන්නහම මේව පාලනය කරන්නෙ කවුද. කෝවිලකට පැනල කුකුළොයි, එළුවොයි හොරකං කරගෙන ආවා. ඒක කොල්ලකෑමක්‌. සත්ව ඝාතනයට මමත් විරුද්ධයි. ඒව නතර කරන්නට නම් ඒකට ක්‍රමයක්‌ තියෙනව. නීතියක්‌ තියෙනව. එයා හැම තැනම කිය කියා යන්නෙ හොඳ අදහසකින් ඒක කළා කියල. ඒක හොඳ අදහසක්‌ නෙමෙයි. මේ රටේ කුඩුකාරයො කී දෙනකුට විරුද්ධව එයා ඔහොම වැඩ කරල තියෙනවද? අද කුඩා දරුවො නොයෙක්‌ තැන්වල සේවයේ යොදවල තියෙනව. ඒවට විරුද්ධව මොනවත් කරල තියෙනවද? රටේ ප්‍රසිද්ධ වෙන්න ඔය වගේ දේවල් කරනව ඇති. මම දැක්‌ක නායක හාමුදුරුනමකුත් ඔය මැර ක්‍රියාවට ප්‍රශංසා කරල තිබුණා. නමුත් ඔය වැඩවලින් රටේ ප්‍රචණ්‌ඩත්වය වැඩිවෙනව. මැරකම් වැඩිවෙනව. මේ ප්‍රචණ්‌ඩ දේශපාලනය නතර නොකළොත් මේ රටේ තරුණ පරපුරට විශාල විපතක්‌ සිදුවෙනව.

කොටි නැති කළ මේ ආණ්‌ඩුව රටේ නියම සංවර පාලනයක්‌ ඇති කරයි කියල එදා අපි හිතුව. මේ වගේ මිනිස්‌සු දාගෙන කොහොමද රටේ සංවර පාලනයක්‌ ඇති කරන්නේ?

අද අපේ රටේ සිදුවෙන මේ දරුණු අපරාධ, මැතිවරණයකින් පසු ඇතිවන ප්‍රචණ්‌ඩත්වය වගේම සමහරු නීතිය අතට අරගෙන කටයුතු කිරීම පාලනය කරන්න දැනට තිබෙන නීති ප්‍රමාණවත් නැද්ද?

නීතිය හොඳටම ප්‍රමාණවත්. නමුත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. අනිත් කාරණය දැන් එල්ටීටීඊ තර්ජන නෑ. මොකටද දේශපාලකයන්ට මේ තරම් ආරක්‍ෂකයෝ. විශාල ආරක්‍ෂකයෝ පිරිසක්‌ එක්‌ක යනකොට ලොකු තත්ත්වයක්‌ තියෙනව කියල සමහර දේශපාලකයන්ගේ මෝඩ කල්පනාවක්‌ තියෙනව. අද හුඟක්‌ දේශපාලකයන්ට තර්ජන තියෙන්නෙ ඒ අයම කරන වැරදි වැඩ හින්දනෙ. ඒකට පොලිසිය එක්‌ක යනව මිසක්‌ අවි ආයුධ අරන් මොකටද මැරයො එක්‌ක යන්නෙ. මට මතකයි ඉස්‌සර අගමැති ගියෙත් එක පොලිස්‌ නිලධාරියෙක්‌ එක්‌ක.

අද තියෙන මේ ප්‍රචණ්‌ඩත්වය නතර කරන්න නම් පොලිසියට අවංකව රාජකාරිය කරන්න ඉඩ ලැබෙන්න ඕන. ඒ වගේම කවුරු කළත් වැරදි දේට වැරදියි කියන්න උසස්‌ පොලිස්‌ නිලධාරින්ටත් පිටකොන්දක්‌ තියෙන්න ඕන. එහෙම පිටකොන්දක්‌ නැතිවෙන කොට පොලිසිය ගැන ජනතාව තුළ තිබෙන විශ්වාසය නැතිවෙනව. අද මේ හින්ද සමහර පොලිසිවලට ජනතාව පහරදෙන්න පටන් අරන් තියෙනව. මේක ඉතාම භයානක තත්ත්වයක්‌. මේව වහාම නතර කරන්න ඕන. පොලිසියට මිනිස්‌සු ගහනකොට පොලිසිය බේරගන්න හමුදාව දානව. ඊළඟට හමුදාවට ගහන කොට හමුදාව බේරගන්න දාන්නේ ගැලවීමේ හමුදාවද?

ජනාධිපතිතුමා එතුමාට තියෙන බලතල නියම ආකාරයෙන් පාවිච්චි කරනවා නම් අද ඇතිවෙමින් තිබෙන මේ භයානක තත්ත්වයෙන් මේ රට බේරගන්න පුළුවන්. එතුමා එතුමගෙ පක්‍ෂයේ ඉන්න මැරයන්ට මැරකම් කරන්න ඉඩ දෙනව නම් රට අවුල් ජාලාවක්‌ වීම වළක්‌වන්න බෑ. පහුගිය කාලේ දූෂණ සහ භීෂණ කරල නඩු වැටුණු එක්‌සත් ජාතික පක්‍ෂයේ හිටපු රොත්තක්‌ මේ ආණ්‌ඩුවට පැන්නා. පැන්නට පස්‌සේ සාක්‌කි නෑ කියල ඒ නඩු පොලිසිය ඉල්ලා අස්‌කර ගත්තා. නඩුවක්‌ ගෙනියන්න සාක්‌කි නැත්නම් ඉල්ලා අස්‌කර ගන්න ඒ අය මේ ආණ්‌ඩුවට එනකම්ම ඉන්න ඕනෑද? හිටපු පක්‍ෂය පාවලදීල අනිත් පක්‍ෂයට පැන්නහම තියෙන නඩු අහෝසි වෙනව නම් ඒ දේශපාලනය මොකක්‌ද? අනිත් අතට අපරාධකාරයො, දූෂිතයෝ පක්‍ෂයක තියාගෙන ඉන්නේ මොකටද? මේ දෙගොල්ලන්ම අද මැරයො, දූෂිතයො නැතිව දේශපාලනය කරන්න බැරි තැනට පත්වෙලයි ඉන්නේ. මේ ආකල්පය වෙනස්‌ කරගන්නෙ නැතිව රටට අනාගතයක්‌ නෑ.

ජනතා විමුක්‌ති පෙරමුණත් දැන් හොඳටම නට්‌ටංවෙලා ඉන්න හින්ද ප්‍රජාතන්ත්‍රවාදය ගැන, සාමය ගැන, සදාචාරය ගැන කතා කරනව. නමුත් පක්‍ෂයට බලයක්‌ තියෙන කොට ඒ අය වැඩ කළේ කොහොමද? කොටිත් එහෙමනේ. බලය තියෙන කාලේ දිගට හරහට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරපු කොටි දැන් අපේ රට උන්ගෙ අයිතිවාසිකම් උල්ලංඝනය කළා කියල පිටරට උසාවි ගානෙ යනව. රනිල් වික්‍රමසිංහ එයාව විවේචනය කළා කියල එයාගෙ මන්ත්‍රීවරුන් කීපදෙනකුට එරෙහිව විනයානුකූල පියවර ගන්නවා. නමුත් වික්‍රමසිංහ විදේශ තානාපතිවරු කැඳවල මේ ආණ්‌ඩුව විවේචනය කරනව. එහෙම නං ඒක වැරදි නැද්ද? වඩා ලොකු තමුන්ද තමුන්ගෙ රටද?

අද අපේ රටේ හැම දේශපාලකයකුම තුළ තිබෙන්නේ දිනන්න ඕන මම කියන ආකල්පයයි. මේ නිසා ඔවුන් රටට වඩා පක්‍ෂයයි ලොකු කරගෙන ඉන්නේ. රට අමතක කර පක්‍ෂය තර කරන්නට යැමේ ෙ€දජනක තත්ත්වයෙන් දේශපාලකයින් මිදෙන්නට ඕන. එසේ නොවුණොත් සිදුවන්නේ මේ රට වෙනුවෙන් කටයුතු කරන්නට සිටින පුද්ගලයන් අතින්ම මේ රට විනාශවී යැමයි.

No comments:

Post a Comment