Monday, March 12, 2012

ඉතින් අපට කැලණිය බේරා දෙන්න





ඉතින් අපට කැලණිය බේරා දෙන්න
ජනාධිපතිතුමා වෙත විවෘත සංදේශයයි
බුදුන් වහන්සේගේ ශ්‍රී පාදස්‌පර්ෂයෙන් පවිත්‍ර වූ, පුරාණ සිංහල රාජධානියක්‌ වූ කැලණිය පින්බිම ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව ලෝක බෞද්ධ ජනතාවගේ උරුමයකි. දිගු සිංහල බෞද්ධ ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ අග්‍රස්‌ථානයක ලා සැලකෙන නගරයක්‌ වූ කැලණියේ ජීවත්වන ජනතාවද අතිශයින්ම සාමකාමී ජනතාවකි.

එවන් ඉතිහාසයක්‌ ඇති, එවන් ජනතාවක්‌ ජීවත්වන කැලණිය, අද යකුන්ට භාරදුන් සොහොන් පිටියක්‌ බවට පරිවර්තනය වී ඇත. ශ්‍රී ලංකාවේ ඈත ප්‍රදේශවල සංචාරය කරන අවස්‌ථාවල කවුරුන් හෝ "ඔබ කොහෝ සිටදැයි" විමසුව හොත් "අපි කැලණියේ" යෑයි පවසන්නේ මහත් ආඩම්බරයකිනි. කැලණියේ කෙනකු මුණ ගැසීම ඔහුටද මහත් සතුටකි. ඒ තරමට මෙරට ජනතාව කැලණි පුරවරයට ගරු කළහ. එහෙත් අද අප කැලණියේ යෑයි පැවසීම අපට නිගරුවක්‌ වන තරමට කැලණි පුරවරයේ නාමය අපවිත්‍ර වී ඇත. කෙලෙසී ඇත. "උපන්දා සිට කරපු පව් නැත වරක්‌ වැන්දොත් කැලණියේ" යන කවි පදයෙන් රස ගැන්වූ කැලණිය ඉතිහාසයේ කවර දිනකවත් ශ්‍රී ලංකාව තුළ කොතනකවත් නොතිබුණ තරමට අසාධාරණය, අයුක්‌තිය, වංචාව, දූෂණය, භීෂණය, තර්ජනය, මර්දනය, ගර්ජනය, කප්පම, හිංසාව රජයන පරිසරයක්‌ බවට පත්ව ඇත. පාසල, පන්සල, පල්ලිය, කෝවිල නොසලකා පාතාල කෙරුමන්ගේ සුරාසල්, ගණිකා නිවාස, මත්කුඩු බෙදාහැරීමේ තිප්පොළවල් කැලණිය පුරාවටම ඉතිරී, පැතිරී ගොස්‌ ඇත. කැලණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පමණක්‌ ගණිකා නිවාස 26 කි. පූජා භූමිය අවට පමණක්‌ 6 කි. කැලණිය වෙහෙර වහන්සේ දර්ශනය වන තරමට මීටර් සියයකටත් වඩා අඩු දුර ප්‍රමාණයකින් යුත් එක්‌ සුරා සහ ගණිකා සැපයුම් මධ්‍යස්‌ථානයකි.

කැලණිය බල ප්‍රදේශය තුළ ඇති සෑම වෙළෙඳසලකින්ම මාසිකව කප්පම් අයකරනු ලැබේ. කප්පම් නොදීම බරපතළ දඬුවම් ලබන වරදකි. මේවාට එරෙහිව කිසිවකු කිසිවකුට පැමිණිලි කරන්නේ නැත. එසේවුවහොත් පසුදින වෙළෙඳසල කුඩු පට්‌ටම් වන්නේය. කැලණියේ පොලිසි එවන් පැමිණිලි භාරගන්නේ නැත. භාරගත්තත් විභාග කෙරෙන්නේ නැත. විභාග කළ පොලිස්‌ නිලධාරියාට ලැබෙන දඬුවම දන්නා බැවිනි.

මුළුමහත් ශ්‍රී ලංකාවටම විධායක ජනාධිපතිවරයා ඔබතුමාය. සේනාධි නායකයාද ඔබතුමාය. අන් ප්‍රදේශ වලට කෙසේ වෙතත් කැලණියට නම් ඔබතුමාගේ අණසක බලපවත්වන්නේ නැත. කැලණියට විධායක බලය සහිත බලධාරියෙකි. කැලණියේ පොලිසිය ඇතුළු සියලු රාජ්‍ය ආයතන වල මෙන්ම පුද්ගලික ආයතන වලද, ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේද අයිතිකරුවා සහ බලධාරියා ඔහුය. ඔහුගේ අණසකට ඉහළින් කිසිවකු නැත. ඔබතුමා රට තුළ දූෂණය, භීෂණය, වංචාව, කප්පම තුරන් කිරීමට කටයුතු කරනු ලබන විට මෙම බලධාරියා ඒ සියල්ල කැලණියේ වැපිරීමට, වර්ධනය කිරීමට ගෝල බාලයන්ද සමඟ එක්‌ව කටයුතු කරනු ලබයි. මේ සුපිරි බලධාරියාට කැලණියේ අයිතිය ඔබතුමා විසින්ම පවරා දී ඇති බව පැවසෙයි. ඔහු ඔබතුමාගේ සමීපතමයකු බවද කියති. එහි ඇත්ත අපි නොදනිමු.

අතිගරු ජනාධිපතිතුමනි,

එකී දඩබ්බර, නින්දිත, දූෂිත කෙරුවාවෙන් කොටසක්‌ ඔබතුමාගේ දැනගැනීම සඳහා නොව, යළි මතක්‌වීම සඳහා මෙසේ සටහන් කරමි. කිරිබත්ගොඩ නගරයේ සහ කැලණිය පූජා නගරයේ කැලණිය ප්‍රාදේශීය සභාව විසින් අලුතින් වෙළෙඳ සල් ඉදිකරනු ලැබීය. ප්‍රාදේශීය සභාව සතු මෙම වෙළඳසල් සියල්ලම කැලණිය පාතාල බලවතාගේ ගෝලයකුට පවරනු ලැබීය. ලක්‍ෂ හයේ වෙළෙඳ සල ලක්‍ෂ 12 බැගින් විකුණන ලද්දේ ඔහුය. (අද මෙම පතාල කෙරුමාට එරෙහිව සටන් වැදී ඇති ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා එදා පාතාල ඇමැතිවරයාගේ සුවච කීකරු ගෝලයෙකි. පඹයෙකි. රූකඩයකි. නිවටයෙකි). කිසිවකුට මේ කිසිවකට එරෙහිවීමට නොහැකිය. එරෙහි වන්නෝ තම නිවෙස්‌ කුඩුපට්‌ටම් කරගන්නෝ වෙති. එවැනි නිවැසියන් මහමඟ යැම දැලිපිහියකට බිලිවීමට හේතුවකි. මෙම පාතාල අණසක යටතේ ක්‍රියාත්මකවන පොලිසියේ පැමිණිලි පොතෙහි අසාධාරණකම්, මැරකම් පිළිබඳ කිසිවක්‌ ලියෑවෙන්නේ නැත. මේ පාතාල කෙරුමා හමුවේ පොලිසිය බලුකුක්‌කන් ගණනට ඇදවැටී ඇත. නවතම ප්‍රවණතාව වන්නේ කප්පම් ගැනීමේදී පොලිස්‌ සහභාගිත්වය සහ සහයෝගයද ලැබීම බවද කියති.

ජෙනරාල් සරත් ෙµdන්සේකා යනු දේශපාලනය කෙසේ වෙතත්, අසහාය රණවිරුවෙකි. ඔබතුමාගේ නියමයෙන් රට එක්‌ සේසත් කිරීමේ මෙෙ හයුම ක්‍රියා ත්මක කළ හමුදාපතිවරයා ඔහුය. රට බේරාගත් යුද හමුදාපතිවරයා වශයෙන් ඔහුගේ නම ඉතිහාස පොතේ ලියෑවී අවසන්ය. වන්දනාමාන සඳහා පැමිණි එවන් රණවිරුවකු හට කැලණිය පූජා භූමියේදී අපහාස කරමින් හූ තබමින් මෙම පාතාල මෙහෙයවීම යටතේ ඔහුගේ ගෝලබාලයන් ක්‍රියාකළ පහත්, නින්දිත ආකාරය කැලණියේ සාමාකාමී ජනතාව හෙළාදකිනු ලැබුවේ මහත් පිළිකුලෙනි.

පසුගිය ජනාධිපතිවරණ යේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වූ ජෙනරාල්වරයාට එම මැතිවරණයට ඉදිරිපත්වීම වැළැක්‌වීමට ඔබතුමාහට හැකියාව තිබිණි, මාණ්‌ඩලික හමුදාපති තනතුරින් ඉල්ලා අස්‌වීම ඔබතුමා භාර නොගත්තේ නම් ජෙනරාල්වරයාට ජනාධිපති වරණයට ඉදිරිපත් විය නොහැකිය. එහෙත් නියම මහත්මා ගති පෙන්වාදෙමින් ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන නායකයකු ලෙස ඔබතුමා ඔහුට අවශ්‍ය පරිදි තරග කිරීමට අවස්‌ථාව, වාතාවරණය සලසා දුන්නේය. රාජ්‍ය බලය යොදවා ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට අවහිර කිරීමට කටයුතු නොකළේය. ෙµdන්සේකා මහතා මෙන් වහසිබස්‌ දොඩවමින් වෛරයෙන් ක්‍රෝධයෙන් කටයුතු නොකළේය. මහත්මා දේශපාලනය හඳුනන සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා නායකයකුගේ ගති ලක්‍ෂණ එසේය. එහෙත් පසුගිය පාර්ලිමේන්තු හෝ පළාත් සභා හෝ පළාත් පාලන මැතිවරණ වලදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ හැර, වෙනත් කිසිදු පක්‍ෂයක පෝස්‌ටරයක්‌, කටවුට්‌ එකක්‌ හෝ බැනරයක්‌ කැලණිය බල ප්‍රදේශය තුළ ප්‍රදර්ශනය කරන්නට මේ පාතාල අණ සහ ගෝලබාලයෝ ඉඩදුන්නේ නැත. කැලණියෙන් ප්‍රජාතන්ත්‍ර වාදය අතුගා දැමීමට මේ පාතාල ගෝලබාලයෝ කටයුතු කළහ.

නිවෙස්‌වල එළවළු වවන ලෙස බලකරමින් එසේ නොකළහොත් කැලණියට එළවළු ගෙන ඒම නතර කරන බව ප්‍රකාශ කරමින් මොහු කැලණි ජනතාවට තර්ජනය කරනු ලබයි. මාර්ග පුළුල් කිරීමේ රජයේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී එම මාර්ග දෙපස පදිංචිකරුවන්ට තර්ජනය කරනු ලබයි. කප්පම් ගෙවීමට පමාවන කඩ සාප්පුවලට මැර ගෝලබාලයන් පිරිවරා පැමිණ වෙළෙඳසල වසා අයිතිකරුගේ හෝ සේවකයන්ගේ විරෝධය නොතකා ඇතුළත සිටින පාරිභෝගිකයන්හට අවශ්‍ය භාණ්‌ඩ නොමිලේ ලබාදී පිටකරයි. මෙය කිරිබත්ගොඩ නගරයේ රෙදි වෙළෙඳ සල් කිහිපයකටම කර ඇත.

අතිගරු ජනාධිපතිතුමනි,

රාජ්‍ය සේවකයකු ගස්‌ බැඳීමේ සිද්ධිය ඔබතුමාට මතක ඇතැයි සිතමි. ඒ සඳහා ඔබතුමා පත්කළ අමාත්‍ය කමිටු පරීක්‍ෂණයේ ප්‍රතිඵලය ප්‍රකාශයට පත්වූයේ පැමිණිල්ලක්‌ නැති බවත්, එම රාජ්‍ය සේවකයා තමා විසින්ම ගස්‌ බැඳගත් බවත් ලෙසය. මෙම පාතාල මෙහෙයුම ඉදිරියේම කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වූ ඔහුගේ හෙන්චයියකු (පළාත් පාලන මැතිවරණයෙන් පසු කුඩා දරුවකුට වෙඩිතැබීම හේතුවෙන් රක්‍ෂිත බන්ධනාගාර ගතකොට සිටි මොහු පසුගියදා හෘද රෝගයකින් මිය ගියේය.) විසින් ගස්‌ බැඳීම කළ බවත් තවත් රාජ්‍ය නිලධාරිනියක්‌ එයට විරෝධය පෑ බවත්, මෙම පාතාල මෙහෙයුමේදී ඇයටද තර්ජනය කළ බවත් මෙරට ලක්‍ෂ සංඛ්‍යාත රූපවාහිනී ප්‍රේක්‍ෂක ජනතාව පැහැදිලිව දුටුවේය. හුදෙක්‌ම තම සගයා බේරාගැනීම සඳහා සහ ජනතාව ගොනාට ඇන්දවීම සඳහා ඇමැති කමිටුව ලබාදුන් කැකිල්ලේ තීන්දුව ඔබතුමා සහ රජය කෙරෙහි ජනතාව කලකිරවීමට සමත්වූ බව පැහැදිලිය. කුමන හෝ මාධ්‍යයක්‌ සදාචාරාත්මකව කටයුතු නොකරන්නේ නම්, ජාතියට එරෙහිව කටයුතු කරන්නේ නම්, අනවශ්‍ය ලෙස රජයේ ව්‍යාපෘති වලට එරෙහි සාවද්‍ය ප්‍රචාරයන් මගින් ජනතාව නොමඟ යවන්නේ නම්, සමාජ විරෝධීව කටයුතු කරන්නේ නම් ඒ සඳහා ක්‍රියාකළ යුත්තේ මෙරට නීතිය අනුව මිස පාතාල නීතිය අනුව නොවේ. මේ පාතාල මෙහෙයුම මාධ්‍ය ආයතන වලට ප්‍රසිද්ධියේම පහරදීම මෙහෙයවන විට ඒ අවලාදයටද උරදීමට සිදුවූයේ ඔබතුමාටමය. මාධ්‍ය නිදහස පිළිබඳ මෙරට පමණක්‌ නොව ජාත්‍යන්තරවද රජයට එරෙහිව නැඟෙන චෝදනා ආරම්භවූයේ මේ පාතාල අමන ක්‍රියාකලාපය නිසා බව රටම දනී. පෞද්ගලික රූපවාහිනි නාලිකා වලට පමණක්‌ නොව තමාගේ කථාවක්‌ ප්‍රචාරය නොකිරීම පිළිබඳ උරණ වී මෙරට දරුණු අපරාධ වලට සම්බන්ධ ගෝලබාල පාතාල මැරයන් සමඟ ජාතික රූපවාහිනියටද පැන, එහි නිලධාරීන්හට පහරදීමට යැමේදී, කුපිත වූ සේවකයන්ගේ පහර කෑමට ලක්‌වූ මෙම නායකයා පසුව රූපවාහිනියේ සේවක සේවිකාවන් බස්‌රථවල ගමන්ගනිද්දී දැලිපිහි හමුදාවක්‌ යොදවා ඔවුනහට පහර දුන්නේය. එය නතරවූයේ ඔබතුමාගේ මැදිහත්වීමෙන් බව ජනතාව දනී.

මධ්‍යම මත්ස්‍ය වෙළෙඳසල පෑලියගොඩ ස්‌ථානගත කිරීම අති සාර්ථක ජනප්‍රිය වූ ව්‍යාපෘතියකි. ජනතාවගේ පහසුව සඳහා අති විශාල මුදලක්‌ වැයකරමින් ඉදිකළ මෙම මත්ස්‍ය වෙළෙඳසල විවෘතකළ දිනයේම තවත් ව්‍යාපාරයක්‌ ආරම්භ විය. ඒ කැලණියේ අයිතිකරු බව පවසන, එනිසාම මත්ස්‍ය වෙළෙඳ සල තමාගේ අයිතියට සහ භුක්‌තියට සවිවන බව පවසා සිටි. මේ අයගේ කප්පම් ව්‍යාපාරයයි. වෙළෙඳසල් හිමියන්ගෙන් පමණක්‌ නොව දසදුක්‌ විඳ මත්ස්‍ය පෙට්‌ටි කර ගසන නාට්‌ටාමිවරුන්ගෙන්ද කප්පම් ගනු ලැබීය. මේ සඳහා යොදවාගනු ලැබුවේ පෑලියගොඩ නගර සභාවේ අයයි. එපමණක්‌ නොවේ, එක්‌තරා සම්බන්ධීකරණ ලේකම් වරයකුගේ සහායට පොලිස්‌ නිලධාරීන් දෙදෙනකුද ලබාදී ඉබ්බන්වල හන්දියේ යකඩ බඩු වෙළෙඳසල් වලින් ද කප්පම් ගනු ලැබීය.

ජනතාවගේ වාසනාවට මෙම පැමිණිල්ල ඔබතුමා ඉදිරිපත් කරන ලද්දේ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාටය. ලොව දරුණුතම ත්‍රස්‌තවාදියා ඇතුළු ම්ලේච්ඡ ගෝලබාලයන් සමූල ඝාතනය කළ ඓතිහාසික මෙහෙයුමේ මහ මොළකරුවා වූ, අපට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සාමය උදාකරදුන් ඒ අසහාය රණවිරුවා, කප්පම් අහෝසි කිරීමේ මෙහෙයුමද එක්‌ රැයකින් සාර්ථක ලෙස අවසන් කරන ලද්දේ කප්පමුන් සිරගතකොට පාතාල අණසකට යට වී සිටි උසස්‌ පොලිස්‌ නිලධාරීන්ද මාරුකොට යෑවීමෙනි. ඒ සඳහා ඔබතුමා පෙර මෙන් ඇමැති කමිටුවක්‌ පත් නොකිරීම අපේ වාසනාවකි. එසේ කළේනම් තම සගයා බේරාගැනීමට යළිත් කැකිල්ලේ තීන්දුවක්‌ ලබාදීමට ඇමැති කමිටුව ක්‍රියාකරනවා නො අනුමානය. තම හිතවතකුගේ කැලණියේ වරාගොඩ කෙනකුගේ අසාධාරණ කම් වලට එරෙහිව විරෝධය පෑ දෙමව්පියන්ගෙන් කෙනකුට මහපාර මැද ප්‍රසිද්ධියේ පහරදී "කැලණියේ ලොක්‌කා මමයි. උඹලාට මගෙන් අවසර නොගෙන විරෝධතා පවත්වන්න බෑ. කනපලාගන්න එපා. පලයං මෙතනින්" යනුවෙන් තර්ජනය කරනු ලැබුවේ කවුද? සියලු රූපවාහිනි නාලිකාවල විකාශය වූ එම සිද්ධිය ලක්‍ෂ සංඛ්‍යාත ප්‍රේක්‍ෂක ජනතාව නරඹන්නට ඇත්තේ දැඩි පිළිකුලෙනි.

ජනාධිපතිතුමනි,

කැලණියේ ප්‍රකට සමාගමක හිමිකරුවන්ගෙන් රුපියල් ලක්‍ෂ 100 ක කප්පමක්‌ ලබාගත් මේ අමනකම් සියල්ලම මේ දිනවල හෙළිවෙමින් පවතී. ඒ හදිසියේ අතුරුදන්ව සිටි පසුව සියල්ල වමාරා විදේශගත වූ අයකුගේ ප්‍රධාන ගෝලයකු හේතුවෙනි. ඔහු බේරා ගැනීම වෙනුවට තමන්ගේ ඇඟ බේරා ගැනීමට කටයුතු කළ හෙයින් ඔහුගේ අනිතුත් ගෝලබාලයන් ද ඔහු සමඟ අමනාප වී ඇත. මෙම අය කර ඇති සියලු අපරාධ මුද්‍රණය කොට බෙදාහැරීමේ ව්‍යාපාරයක්‌ද ආරම්භ වී ඇත. ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන් එක්‌ලක්‍ෂ පනස්‌ දහසක ඡන්ද සංඛ්‍යාවක්‌ ලබාගනිමින් පාර්ලිමේන්තුවට පත්වූ මොහු අප දන්නා තරමින් කැලණියෙන් ලබාගෙන අත්තේ විසිදහසකටත් අඩු ඡන්ද ප්‍රමාණයකි. ඉතිරි ඡන්ද ලබාගත් අයුරු "කොම්පියුටර් ජිල්මාට්‌" නමින් හඳුන්වන, පරාජය ජයග්‍රහණය කිරීමේ සහ ජයග්‍රහණය පරාජය කිරීමේ අනුහස්‌ හා හාස්‌කම් සහිත සමානුපාතික ඡන්ද ක්‍රමයේ ආදීනව  හොඳින් දන්නා අයට අමුතුවෙන් කිවයුතු නැත. ඔබතුමා කොතෙක්‌ අවවාද කළත් මෙම පුද්ගලයා හැදෙන්නේම නැත.

ජනාධිපතිතුමනි,

දුටුගැමුණු රජතුමා මෙන්ම ඔබතුමාද ලංකා ඉතිහාසයට එක්‌වන්නේ තුන් සිංහලය එක්‌ සේසත් කළ ශ්‍රේෂ්ඨ නරපතියකු ලෙසය. "විශ්වකීර්ති ත්‍රීසිංහලාධීෂ්වර, ශ්‍රී ලංකා රාජවංශ විභූෂන ධර්මද්වීප චක්‍රවර්ති" නම් වූ සිංහල ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ නරපතියකුට පමණක්‌ කලාතුරකින් ලැබිය හැකි ඉහළම ගෞරව නාමයන්ගෙන් ඔබතුමා පිදුම් ලබා ඇත. එවන් ලොව පතළ කීර්තිමත් ජන නායකයකු වන ඔබතුමාගේ නායකත්වයෙන් යුතු රජයේ කැබිනට්‌ බණ්‌ඩලයට මෙවන් අයෙකු සිටීම, ඔබතුමාගේ ගෞරවයට මෙන්ම කීර්තියටද බලවත් හානියකි.

මොහුගේ තර්ජන, ගර්ජන, අවිනීත ක්‍රියාදාමයන් සාමාකාමී කැලණි ජනතාවට පමණක්‌ නොව මුළුමහත් ශ්‍රී ලංකාවාසී ජනතාවටම පිළිකුලකි. කැලණියේ සියලුම බෞද්ධ විහාරාධිපතීන් වහන්සේ ඇතුළු භික්‍ෂුන් වහන්සේ මෙන්ම අනෙකුත් ආගමික නායකයන්ද මොහුගේ මෙම ක්‍රියාකලාපයට එරෙහි වී ඇත.

අතිගරු ජනාධිපතතුමනි,

කැලණි ජනතාව කවදත් ඔබතුමා සමඟය. පසුගිය මහමැතිවරණයේ දී හා පළාත් පාලන මැතිවරණයේදී අප ජයග්‍රහණය කරවූයේ ඔබතුමාගේ පක්‍ෂය මිස මෙම දුෂ්ඨ මැර කල්ලිය නොවේ. මෙම පුද්ගලයාගේ නොපනත්කම් තවදුරටත් ඉවසා සිටිය නොහැක. ඔහු ඉතා පහත් අයුරින් හැසිරුනේ වරක්‌ දෙවරක්‌ තුන්වරක්‌ නොවේ. එහෙත් ඔහුට එරෙහිව කිසිදු පියවරක්‌ නොගන්නේ මන්දැයි අපට ප්‍රශ්නයකි. ජනතාව මේ පිළිබඳ නොයෙක්‌ මත ඉදිරිපත් කරති. ඒවා ඔබතුමාගේ ගරුත්වයට හානිකරය. තවදුරටත් මොහු ආරක්‍ෂා කිරීමේ පිළිවෙත, අප නොපතන බරපතළ දේශපාලන ෙ€දවාචකයක මුල පිරීමක්‌ විය හැකිය.

බුදුරජාණන් වහන්සේගේ පාදස්‌පර්ෂයෙන් පාරිශුද්ධ වූ කැලණිය පූජා නගරයට කැලණි පින්බිමේ උපත ලද කැලණි පුත්‍රයෙකු පත්කරන ලෙස කැලණි ජනතාව වෙනුවෙන් ඉතා ඕනෑකමින්, කරුණාවෙන් ඉල්ලා සිටිමි.

මෙයට, හිතවත්,
නන්ද වසම්ගොඩකන්ද
ගල්බොරැල්ල,
කැලණිය.
 

සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.




No comments:

Post a Comment