කුඩු අරහං 'කුඩ්ඩා' මමයි
දොස්‌තර පවුලේ කුඩු ආටිස්‌ට්
ඔහු ද කලාකරුවෙකි. එහෙත් ඔහුගේ හැකියාවන් පෑගෙන දූවිලි කැට ගානටවත් සමාජයට අගයක් නැත. ඒ ඔහු පිටකොටුව පේමන්ට් එකේ පච්ච පොරක් වූ හෙයිනි. එහෙත් මේ මිනිසා කොළඹ කොන්ක්‍රීට් වනාන්තරයේ ඉපිද ගෙන්දගම් පොළවේ උස්‌මහත් වූවෙක් නම් නොවේ. හේ දකුණු පළාතේ සුන්දර ගම් පෙතක වැදගත් පවුලක ඉපිද ගාල්ල උසස් පාසලක උසස් පෙළ දක්‌වා සිප්සතර හැදෑරූ අයෙකි. අවසන ඔහු ප්‍රේමයෙන් පරාජිතයකු වී තම මව්පියන්ට පමණක් නොව දකුණු පළාතටම ආයුබෝවන් කියා කොළඹට පැමිණ ඇත්තේ ජීවිතයම චප්ප කර ගත්, ඇඳිවතට පමණක් සීමා වූ කුඩ්ඩෙක් ලෙසය. මුළු ජීවිතයම පොපි මලට බිලි දුන් මේ මිනිසාගේ කලාකාමී සිත නම් තවමත් වල්මත් වී නැත. ඒ බව අපට හොඳින්ම පසක් වූයේ ඔහු ජීවත් වන පිටකොටුව මාර්කට්‌ටුවේ පුංචි කුටියට ගිය විටදීය.
"එන්න සර් ඇතුළට. ටැටු එකක් දාගන්නද? සර්.. මා ළඟ ඩිසයින් කිහිපයක්‌ම තියෙනවා.. එකක් සිලෙක්‌ට් කරන්න කෝ..." කියා ඔහු විවිධ ටැටු නිර්මාණ කිහිපයක් ඇතුළත් ඇල්බමයක් අපගේ අත තැබුවේය.
ඔහුගේ නම අපි නොකියමු. ඔහු මුස්‌ලිම් ජාතිකයෙක් බව අපි කියමු. වයස අවුරුදු හතළිස් පහකි. දෙනෙත් ගිලී ගිය ඒ මුහුණේ මස් කළඳක් පෙනෙන්නට නොමැති සේ හකුත් ඇකිලී ගොස්‌ය. අත පයේ නහර සමෙන් එළියට පනින්නාක් සේ ඉල්පී පෙනේ. ටීෂර්ට් එකකින් සහ කොට කලිසමකින් ඇට කටු කූඩුව වසා ගත් ඔහු පෙනුමෙන් මන්දපෝෂණයට ලක් වූවෙක් මෙනි. ඒ කෑම අහේනියෙන්වත් කාලයක සිට පවතින රෝගී තත්ත්වයක් නිසාවත් නොව, ඒ ශරීර කූඩුව ජරාජීර්ණ වී ඇත්තේ දැඩි ලෙස හෙරොයින්වලට (කුඩු) ඇබ්බැහි වීම නිසාය.
ඔහු අපට ඔහුගේ වාසස්‌ථානය තුළට කතා කළාට ඒ කුටියේ තවත් දෙතුන් දෙනකුට හරස් වෙන්නට ඉඩ කඩක් ඉතිරි වී නැත. කවුළුවක් නොමැති ඒ අඳුරු කුටියට පුංචි හෝ ආලෝකයක් වැටී තිබුණා නම් ඒ ඔහුගේ කලා නිර්මාණවලින් විහිදෙන ආලෝකය පමණි. එසේ නොවෙන්නට එය අඳුරුම අඳුරු ගුහාවකි. කාමරයේ එක් කොනක මල්පහන් පූජා කරන පුංචි බුදු මැඳුරකි. එයට ආසන්නවම තරමක් විශාල පෙට්‌ටියකි. කාමරයේ ඇතුළු පැත්තට වන්නට බිම ඇතිරූ පැදුරකි. එය මත ළිපේ දැම්මත් නොදැවෙන තරමට දුර්වර්ණ වූ හිස තියන කොට්‌ටයකි. ඒ ඔහුගේ නිදි යහන බවට සැකයක් නැත. පැදුර පාමුලට වන්නට චිත්‍ර ඇඳීමට ගන්නා පින්සල් බහාලු පුංචි පෙට්‌ටියක් සහ ඉඳිකටු වැනි කටු දැමූ පෙට්‌ටියක් ද විය. තවමත් ඒ අඳුරු කුටියේ අහුමුළු විපරම් කරන අපේ දෙනෙත් මොහොතකට නැවත ඔහු දෙසට යොමු කරමින් අපගේ අනන්‍යතාව තහවුරු කර අපි ඔහු හමුවීමේ අවශ්‍යතාව පැහැදිළි කර දුන්නෙමු.
"මගේ ජීවිතය ගැන පත්තරේ පිටුවක් නෙමෙයි පිටු ගාණක් වුණත් ලියන්න පුළුවන් සර්. ඒත් සර් මට මේ ඉන්න විදිහට ඉන්න දෙන්න. මගේ ආතල් එක කුඩු කරන්න හදන්න එපාෘ සර්ලට ඕන නම් ටැටු එකක් ගහලා දෙන්නම්..."
"නැහැ අපිට ඕනා ඔයත් එක්‌ක ටැටු ගහන හැටි කතා කරන්න" ඔහු කෙසේ හෝ කතාවට සම්බන්ධ කර ගැනීමේ අදහසින් අපි එසේ කීවෙමු.
"මේ සර්ලා ඔයා ගැන වැරදි විදිහට ලියන්නෙ නැහැ. බය නැතිව ඔයාගේ ජීවිත කතාව කියන්න" යෑයි අප සමග ඔහුගේ කුටිය අසලට ගිය පිටකොටුව ස්‌වයංරැකියා සංගමයේ සාමාජික අචින්ත අප ගැන ඔහුට එසේ පැහැදිළි කර දුන්නේය.
ඒත් ඔහු කිසිවක් නොකියයි. ඇහි බැම පමණක් එස වෙයි. අප අතර නිහඬතාවකි. මගෙ අතේ තිබුණු ඔහුගේ ටැටු නිර්මාණ ඇතුළත් ඇල්බමයේ පිටු නැවත එකිනෙක පෙරළෙයි. සැබැවින්ම මේ මිනිසා ද මේ සිත්තම් ඇඳ ඇත්තේ...? අදහා ගැනීමටවත් නොහැකිය. කුඩුවලින් වල්මත් වූ ඔහුගේ මනස මෙවැනි නිර්මාණ කිරීමට සමාධිගත කර ගන්නේ කෙසේද? මගේ උඩු සිතත් යටි සිතත් එකම අවුලකය. අවුල නිරවුල් කරගැනීමට නම් ඔහුගේ ලෝකයට යා යුතුමය. කෙසේ හෝ ඔහුව කතාවට සම්බන්ධ කර ගැනීමේ අදහසින් අපි ඔහුගෙන් මෙසේ විමසුවෙමු.
"පච්ච කොටන්නෙ පේමන්ට් එකේ කොහේ ඉඳගෙනද"
"මෙතන තියාගෙන තමයි පච්ච කොටන්නෙ.. ඒත් පේමන්ට් එකේ ඔය කොහේ හරි තැනක මගේ ටැටු නිර්මාණ ටික දාලා මම පැත්තකට වෙලා ඉන්නවා. මිනිස්‌සු එතැනින් යන එනකොට ඒ රූප දිහා බලාගෙන යනවා. පච්ච මේනියාව තියෙන තරුණ කොල්ලෝ මැදි වයසේ මිනිස්‌සු නැවතිලා පච්ච ඩිසයින් බලනවා. එහෙම අය ළඟට මම ගිහින් කතා කරනවා. මගේ ටැටු ඇල්බමයත් මම ඒ අයට පෙන්වනවා. ඊට පස්‌සේ මගේ ඩිසයින්වලට කැමති වෙලා ඒ අය ඩිසයින් එකක් සිලෙක්‌ට් කරලා කිව්වොත් මට මෙන්න මේ පච්චය ගහලා දෙන්න කියලා මම ඒ පුද්ගලයාව මගේ කාමරයට එක්‌කගෙන ඇවිත් පච්චය කොටනවා." දැන් හේ ඔහුගේ වෘත්තීය ජීවිතය අප ඉදිරියේ වචන කරමින් සිටියි. ඔහුගේ මුවින් ගලා යන කතාවට අපි විරාමයක් නොදීම, පච්ච කෙටීමට අය කරන මිල ගණන් විමසුවෙමු.
"ඒක ඩිසයින් එකෙන් ඩිසයින් එකට වෙනස් වෙනවා සර්. රුපියල් පන්සීයේ ඉඳලා හාරදහ පන්දහට යනකම් පච්ච ඩිසයින් තියෙනවා. ඒත් මම මේක කරන්නේ කෝටිපතියෙක් වෙන්නවත් මාලිsගා හදන්නවත් නෙමෙයි. මොනවහරි දෙයකින් බඩ පුරව ගන්නයි, බඩු ටික කන්ටිනියු කර ගන්නයි විතරයි. සමහර වෙලාවට පච්ච මේනියාව තියෙන කොල්ලෝ කියනවා "අයියේ මගෙ අතේ මෙච්චරයි තියෙන්නෙ. ඔයාට පුළුවන් නම් මට මෙන්න මේ පච්චය කොටලා දෙන්න කියලා" කිසිම දවසක මම එහෙම කොල්ලන්ව ඔය ගාණට කරන්න බැහැ කියලා හරවලා ඇරලා නැහැ. ඒ අය දෙන කීය හරි අරගෙන මම පච්ච කොටලා දීලා තියෙනවා. අපි අද හිටියි. හෙට මැරෙයි. සල්ලි නෙමෙයි වටින්නේ මනුස්‌සකමයි. මම මගේ රැකියාවෙන් බලාපොරොත්තු වෙන්නේ මගේ කලාව මිනිස්‌සු අතරට ගෙනියන්න. එහෙම වුණොත් මම මැරුණත් මගේ කලාව මැරෙන්නෙ නැහැ. ඒක තමයි මගෙ කන්ටිනියු එක. සමහර දවසල්වලට ප්ලේන්ටියක් බොන්න සල්ලි නැතිව පැත්තකට වෙලා සුරුවවිත්තම් ගහගෙන අගුපිලක වැටිලා ඉන්නකොට කවුරුහරි කොල්ලෙක් ඇවිත් "අයියේ මේක තියාගනින් උඹ හොඳ එකා බං මගෙ පච්චෙ ගහලා සල්ලි ගත්තෙත් නැහැ." කියලා සල්ලි දෙන වෙලාවල් තියෙනවා. දැක්‌කද සර්.. අපි උදව් කළොත් තමයි අපිට නැති වෙලාවට කවුරුහරි පිහිට වෙන්නෙ" ඔහු එසේ කියා ඔහුගේ කුස පිරිමැද්දේය.
අප ඔහු සොයාගෙන පිටකොටුවට යන විටත් සවස තුන පසු වී තිබිණි. එහෙත් ඔහුට දහවල් ආහාර වේලවත් කුසට වැටී නොතිබිණි. ඒ ඔහුට එදා දවසේදී පච්චයක් කෙටීමට කිසිවෙක් නොපැමිණි නිසාය. පච්ච කෙටීමෙන් රුපියල් හාරපන්දහසක් සොයාගැනීමට හැකි දින මෙන්ම තේ එකක් බීමට රුපියල් දහයක් සොයාගැනීමට නොහැකි දින ද ඔහුගේ වෘත්තීය ජීවිතයේ නැතුවාම නොවේ. අප ඔහු හමුවීමට ගිය දවස ද එවැනි බිස්‌නස් ලොස් දිනයකි.
"මට බඩට කන්න ඕනේ නෑ සර්... කුඩු ටික කන්ටිනියු කරගත්තා නම් බඩ පිරුණ තමයි. දැන් මට සික් එක සර්.. ඒත් හොර වැඩ කරන්නෙ නැහැ. කන්න නැතුව, බඩු ටික නැතිව මැරුණත් හොරකම් නම් කරන්නෙ නැහැ. මම උදේ පාන්දරට බුදුන් වැඳලා දෙවියෝ අදහලා එළියට බහින කෙනෙක්. මම වැරැද්දකට කරන්නෙ මේ ජරාවට ඇබ්බැහි වෙලා ඉන්න එක විතරයි. නැතුව වෙන කිසිම ජරා වැඩක් කරන්නෙ නැහැ." එසේ කියමින් ඔහු කාමරය තුළට අත දිගු කර අපට පුංචි බුදු කුටිය පෙන්නුවේය. ඒ අසල සූනියම් දෙවියන්ගේ රූපයකි. ඒ ඉදිරියෙන් පුංචි පිත්තල පහනකි.
"සර් මම මුස්‌ලිම් ආගමේ කෙනෙක්. ඒත් මට බුද්ධ ධර්මය ගැන හොඳ පැහැදීමක් තියෙනවා. ඒක තමයි ආත්මය ගලවාගැනීමේ මාර්ගය. බුද්ධ ධර්මයේ යන කෙනා ගොඩ යනවා. එහෙම නැති එකා වැටෙනවා. ඒක ඒ විදිහටම කන්ටිනියු වෙනවා. මගේ මල් වයසේදී මම දැකලා තිබුණෙ ආදර ධර්මය විතරයි. මම ජීවිතයෙන් පරාද වුණාට පස්‌සෙ තමයි බුද්ධ ධර්මය දැක්‌කෙ. දැන් මගේ මේ ආත්මය ඉවරයි. ලබන ආත්මයේදීවත් හොඳින් ජීවත් වෙන්න බුදුන් අදහනවා. ඒ මාර්ගයේ යනවා. මම මස් මාළු මොනවත් කන්නෙ නැහැ. සූනියම් දෙවියන්ට පහනක් පත්තු කරනවා. මම සර්ලට බොරුවක් කිව්වොත් මට හෙට එයා ෂොට් එකක් දෙයි. එයත් එක්‌ක සෙල්ලම් කරන්න බැහැ"
ඔහුගේ ටැටු ඇල්බමය තවමත් මගේ දෑත මතය. ඔහුගේ ටැටු ඇල්බමයේ සියලුම ටැටු සිත්තම් ඔහුගේ නිර්මාණය. හසන් චිත්‍ර කලාවට උපන් හපන්කම් ඇත්තෙකි. සිතුවම් ඇඳීමට පමණක් නොව, රූප නෙළීමට ද ඔහු දක්‍ෂතා ඇත්තෙකි. ඔහුගේ දක්‍ෂතා තහවුරු කිරීමට මෙන් කාමරයේ තිබූ ඔහු නෙළුE ප්‍රතිමා කිහිපයක්‌ම හේ අපට ගෙනැවිත් පෙන්නුවේය. සැබැවින්ම ඔහු උපතින්ම දක්‍ෂ කලා ශිල්පියෙකි. එහෙත් පූරුවෙ කළ පවකට අද ඔහු පේමන්ට් එකේ පච්ච කොටන තැනට වැටී ඇත.
"සර් මම ජීවිතයෙන් පරාද වුණා. ඒත් මට හොඳ ටැලෙන්ට් එකක් තියෙනවා. මට පුළුවන් ඕනෑම රූපයක් අඹන්න. ඒත් සර් අපෙන් රටට වැඩක් ගන්නෙ නැහැ. සමාජයට මම නිකම්ම නිකම් කාලකන්නි කුඩ්ඩෙක් විතරයි. ඒකයි අද මම මෙහෙම පේමන්ට් එකට වැටිලා තියෙන්නෙ. මට කාත්කවුරුවත් නැහැ. වැටිලා ඉන්න තියෙන්නෙ මේ කාමර කෑල්ල විතරයි. මගේ ඇඟේ තියෙන කලාව තමයි මම මේ විදිහට ශරීර කලාවෙන් පිට කරන්නෙ."
ඇයි ඔයාගේ දෙමව්පියෝ නැද්ද?
"ඉන්නවා තාත්තා නම් නැති වුණා. අම්මා ඉන්නවා. ඒත් මම අම්මා ළඟටවත් සහෝදරයෝ ළඟටවත් යන්නෙ නැහැ. මගේ සහෝදරයෝ මම වගේ පාරෙ චාටර් වෙන්නෙ නැහැ. හොඳ වැදගත් ජොබ් කරන්නෙ. මම වගෙ කෙනෙක් ඒ අය ළඟට ගියහම ඒගොල්ලන්ට ඒක ලැඡ්ජාවක්. අපේ තාත්තා හිටපු දන්ත වෛද්‍යවරයෙක්. මමත් හොඳටම ඉගෙනගත්තා. මම මෙහෙම හිටියට ගණිත අංශයෙන් උසස් පෙළ කරලා පාස් වෙලා තියෙනවා. ඒත් ඒ සේරම යට කරල මගෙ කරුමෙ ජයගත්තා." ඔහු ජීවිත කතාව අපට පැවසීමට මුලදී අකැමැති වුවද දැන් ඔහුට නොදැනීම ඔහුගේ ජීවන ගමන නිරයට හැරුණු තැනට අපව ගෙනයමින් සිටියි. ඒත් ගැටලුවකි. දැන් දැන් ඔහුගේ කාමරය අසල මිනිසුන්ගෙන් පිරී ගොස්‌ය.
"මෙතැන බයිස්‌කෝප් එකක් පෙන්වන්නෙ නැහැ. පොඩ්ඩක් එහාට මෙහාට වෙයල්ලා හුළං ටිකක්‌වත් වදින්න.." ඔහු කතාවට මොහොතක විරාමයක් දී වට වී සිටි මිනිසුන්ට පල නොකියා පලා බෙදුවේය. වාහනවලින් නැගෙන ශබ්දයත්, පිටකොටුව වෙළෙඳුන්ගේ කන්කරච්චලයත් පරයමින් නැවත ඔහුගේ හඬ මෙසේ උස් විය.
"මම ජීවිතය වරද්ද ගත්තෙ අවුරුදු දහහතේදී සර්.. යට ගිය දේවල් මතක් වෙන කොට කන්ටිනියු පාරක් දාගන්න දුවන්න හිතෙනවා. ඒත් සර් අතේ සතේ නැහැ.. දැන් සික් එක වගෙයි. කන්ටිනියු පාරක් දාගෙන හිටිය නම් සර්ලට මාව අල්ලන්න බැහැ"
"ඉතිං කියමුකෝ බලන්න ජීවිතයෙන් පරාජය වුණේ ඇයි කියලා" අපි ඔහුට කතාවෙන් පැන යැමට කිසිදු ඉඩක් ලබානොදුන්නෙමු.
"මම අවුරුදු දහතුනේ ඉඳලා ගැහැනු ළමයෙකුට ආදරය කළා. එතකොට මම ඉස්‌කෝලේ නවය වසර පන්තියෙ. ඒත් සර් අපේ ආදරය යථාර්ථයක් කරගන්න බැරිව ගියා. එයාගෙයි මගෙයි දෙපැත්තෙම දෙමව්පියෝ අපේ ආදරයට හරස් වුණා. අන්තිමේ දෙමව්පියෝ ජයගත්තා අපි පරාද වුණා." ඔහුගේ දෑත් වේව්ලයි. හෙරොයින් නැති නිසා සික් එකටද, නැති නම් අඳුරු මතකය අවදි වූ හෙයින් සිත් වේදනාවටද කියා අපි නොදනිමු. අපි දැහැන්ගතව ඔහුගේ කතාවට සවන් දී සිටිමු.
ප්‍රේමයෙන් පරාජිත ඔහු මියෙන තුරාවට තනිකඩව ජීවත් වීමට තීරණය කළේය. එහෙත් ඔහුගේ සිත ඔහුට පාලනය කර ගැනීමට නොහැකි විය. ඔහු අයාලේ ගියේය. දෙතොළට ළං නොවූ දුම් වැටි නිරන්තරයෙන්ම ඔහුගේ දෙතොළ මත නතර විණි. මත්පැන් නොදැක සිටි ඔහු සිත සුව කිරීමට මත්වතුර ඔසුවක් කරගත්තේය. ක්‍රමයෙන් ඔහු ප්‍රේමයෙන් පමණක් නොව ජීවිතයෙන් ද පරාජිතයකු විය. නැවත ජීවිතය යහමඟට ගැනීමට ඔහුට කොහෙත්ම නොහැකි විය. ඔහු මත්වතුරෙන්, දුම්වැටියෙන් සෑහීමකට පත් නොවීය. ගංජා සුරට්‌ටුවත් ඔහුගේ ඇඟිලි තුඩු අතර නතර විය.
"මේ පෙරළිය වුණේ එක්‌දහස් නවසිය අසූ ගණන්වල. ඒ කාලේ අපි ගංජා ඉරුවේ කාප්පයෙන්. යාළුවොත් ඕනෑ තරම් හිටියා. අයාලේ යන උන්ට ඕන තරම් අය සෙට් වෙනවා. එක දවසක් අපි තුන් හතර දෙනෙක් සෙට් වෙලා කාප්පයක් උර උර ඉන්නකොට එකෙක් ඇවිත් කිව්වා. "පොඩි බඩු ටිකක් තියෙනවා. මොකද කියන්නෙ කරමුද" කියලා ඇහුවා. ඒ දවස්‌වල මටත් ඕනා මොන මළදානෙ ගහලා හරි මත් වෙන්න. එදා තමයි ජීවිතයේ පළමු වතාවට කුඩු ඉරුවේ. එදා මට ඒ දේ කරන්න එපා කියන්න කවුරුවත් හිටියේ නැහැ.
කුඩු උරන අය මට ලස්‌සන සුරංගනා ලෝකයක් මවලා පෙන්නුවා. ඇත්ත කුඩු ඉරුවට පස්‌සෙ මගේ හිතේ තිබුණු දුක වේදනාව අතුරුදන් වෙලා ගියා. මමත් හිතුවා මේක තමයි හිතේ දුකට හොඳම බෙහෙත කියලා. අන්තිමේ මම තුන්වේලටම බඩු කන්ටිනියු කළා. මේ වැටෙන්න යන්නෙ කොතනටද කියලා එදා මට තේරුණෙ නැහැ. අන්තිමේ මට කුඩු නැතුවම ඉන්න බැරිව ගියා. පස්‌සෙ පස්‌සෙ කන්ටිනියු කර ගත්තෙ නැත්නම් ඇඟ ගැහෙන්න පටන් ගත්තා. මට ගම අපායක් වුණා. මාව ගෙදරට වදයක් වුණා. මම මේ අපායෙන් මිදිලා කොහේ හරි යනවා කියලා හිතාගෙන කාටවත් නොකියා එදා ගාල්ලෙන් කොළඹ බස් එකකට නැඟලා කොළඹ ආවා. මම අදටත් ගමට ගිහිල්ලා නැහැ. ජීවිතය ගෙන්දගම් පොළවටම ගෙවිලා ගියා. ගම අපායක් කියලා හිතලා කොළඹ ආපු මම වැටුණෙ ඊටත් වඩා අපායකටයි." දැන් ඔහු දිනපතා තුන්වේලටම කූඩු උරන්නෙකි. එහෙත් ඔහු තවකෙක් කුඩුවලට ඇබ්බැහි වෙනවාට අකැමැතිය. ඒ හෙරොයින් ශරීරිගතවීමේ වේදනාව ඔහු හොඳින්ම විඳි කෙනෙක් වූ හෙයිනි. සමාජයට හෙරොයින් (කුඩු) කරන විනාශය කුඩ්ඩෙකුගේම භාෂාවෙන්ම අපි නැවත කියමු.
"මම කුඩු උරනවා තමයි. ඒක මට මැරෙනකම් නවත්වන්න බැහැ. දැන් මම ඒකට ඇබ්බැහි වෙලා ඉන්නෙ. බඩු ටික කන්ටිනියු වෙලා µSලින් එක ඇඟට ගත්තට පස්‌සෙ මගේ හිතේ තියෙන සියලු දේවල් අමතක වෙනවා. ඊට පස්‌සෙ මගේ ජීවිතය නැවත ගමන් කරනවා. නැත්නම් මට මක්‌කරලවත් ඉන්න බැහැ මගේ ජීවිතය විනාශ වුණු හැටි චිත්‍රපටයක් වගේ මැවෙන්න පටන් ගන්නවා. ඒත් සර් මම තරුණ පරපුරට කියන්නෙ මොන දේ කළත් මේ මාරයාව නම් ළඟට ගන්න එපා කියලා. කුඩු කියන්නෙ සමාජයට ත්‍රස්‌තවාදයක්. කොටි නම් වෙඩි තියලා බෝම්බ ගහලා එක පාර අපේ මිනිස්‌සුන්ව මරලා දැම්මා. මේ ත්‍රස්‌තවාදියා එහෙම නෙමෙයි ටික.. ටික.. සමාජය මරන්නෙ. අද මේ කොටුවේ කොච්චර ඉන්නවද සර් කුඩු උරන උන්. ඒත් මම කියන්නෙ ඔය ළඟදී කුඩු උරන්න පටන් ගත්ත උන්ට තාම පුළුවන් මේ ජරාවෙන් මිදෙන්න. පලයල්ලා එගොඩට. හිතපල්ලා.. ඕක සුරංගනා ලෝකයක් නෙමෙයි මායා ලෝකයක්. දෙවියෙක් වගේ උඹට ඔය පේන්නෙ උඹව බිලි ගන්න ආපු මාරයාව."
මම කුඩ්ඩෙක් තමයි. ඒත් සර් මම තව කෙනක්‌ව මේ ජරාවට ඇබ්බැහි කරගන්නෙ නැහැ. කිසිම දවසක කිසිම එකෙක් එක්‌ක කුඩු උරන්නෙත් නැහැ. කවුරුහරි කොල්ලෙක් ඇවිත් කුඩු තියෙන තැනක් මගෙන් ඇහුවොත් මම ඌට ගහනවා. එහෙම කරලත් තියෙනවා. කුඩුවල තියෙන බරපතළකම දැන් සමාජය දන්නවා. එදා අපි කුඩුවලට ඇබ්බැහි වුණේ මේකේ බරපතළකමක් නොදැනයි. ඒත් අද සමාජය දන්නවා මේ මාරයාගේ හැටි. ඒ බව දැන දැනත් ඇයි සර් මේ මෝඩ හැත්ත මේකට ඇබ්බැහි වෙන්නෙ. තරහාකාරයෙක්‌ටවත් මම කියන්නෙ නැහැ මේ දේ කරපන් කියලා. ඒකෙ තියෙන වේදනාව මම දන්නවා. ඒ නිසා තමයි කන්ටිනියු කරන්න ඕන. මම දැනුත් ඉන්නෙ සික් එකේ"
කතාව අපූරුය. ඒ වචන ටික කීවේ හෙරොයින්වලට ඇබ්බැහි වී නන්නත්තාර වූ කුඩ්ඩෙකි. දැන් ඔබට තේරෙනවා ඇති කුඩුවල තියෙන බරපතළකම කොටුවේ කුඩ්ඩෙක් කීවේද හෙරොයින් සමාජය වනසන ත්‍රස්‌තවාදියෙක් කියාය. එසේ නම් මානුෂීය මෙහෙයුමක් කර එල්.ටී.ටී.ඊ ත්‍රස්‌තවාදයේ සියලු අක් මුල් පවා විනාශ කර දැමූ මේ ආණ්‌ඩුවට මෙරටට කුඩු එන්නත් කරන සිදුරු ටික වසා දැමීමට නොහැකි මන්ද? එසේ නොවෙන්නෙ දේශපාලනයට සම්බන්ධ උන් මේ කුඩු ත්‍රස්‌තවාදයේ කොටස්‌කරුවන් වී සිටින හෙයින්දැයි සමාජය ඉදිරියේ ඇති ප්‍රශ්නාර්ථයකි.
තරංග රත්නවීර
ඡායාරූපධම්මික සල්වතුර
http://www.divaina.com/2012/08/12/feature01.html
Chinthaka Kohomban
No comments:
Post a Comment