Thursday, March 31, 2011

හෘදයාබාධ




හෘදයාබාධයක් යනු කුමක්ද?

 

හෘදයට රුධිරය සපයන ධමනි නාල හැඳින්වනුයේ "කිරීටක ධමනි" යන නමිනි. සමහර අවස්ථාවන්හීදී මෙම ධමනි නාල තුළ මේදය (තෙල්) තැන්පත් වී එම ධමනි වල ඇතුළත විෂකම්භය පටු වෙයි. මෙම තෙල් තැන්පතු ඇති වීම "ඇතරොස්කෙලරෝසියාව" ලෙස හැඳින්වෙයි.

 

කල් යත්ම මේ තෙල් තැන්පතු හෙවත් ඇතරොස්කෙලරෝසියාවට ලක් වූ පෘෂ්ඨ ප්‍රදේශයෙහි රුධිරය කැටි ගැසීමට අවස්ථාව සැලැසෙයි. "ත්‍රොම්බෝසියාව" ලෙස හැඳින්වෙන්නේ මේ ලේ කැටි ඇති වීමේ තත්ත්වයයි.

 

කිරීටක ධමනියක් තුළ ලේ කැටියක් ඇති වූ විට හෘදය වස්තුවෙහි රුධිර සැපැයුම අඩාල වෙයි. එ නිසා උවදුරට පත් හෘදය ප්‍රදේශය මිය යයි. හෘදයාබාධයක් (මයෝකාඩියල් ඉන්පාක්ෂන්) ලෙස හැඳින්වෙන්නේ මේ තත්ත්වය යි.

 

තෙල් තැන්පතු මත රුධිරය මෙසේ කැටි ගැසෙන්නේ ඇයි?

 

රුධිර නාල තුළ ඇති වූ තෙල් තැන්පතු හදිසියේම පිපිරෙන බව සොයා ගෙන ඇත. පිපිරුණ තෙල් තැන්පතුවක් මත රුධිරය වහාම කැටි ගැසෙයි. ඒ සඳහා තත්පර කිහිපයකට වඩා ගත නොවන බව දත යුතුයි.

 

ක්ෂණයකින්ම හෘදයාබාධ ඇති වීමට හේතුව මෙම තත්ත්වය යි. (තෙල් තැන්පතුව නොපිපිරි තිබුණහොත් එය මත ලේ කැටි ගැසීමට ඇති අවදානම ඉතා අඩුය.)

 

බොහෝ විට පිපිරීමට ලක් වන තෙල් තැන්පතුව ඉතා සුළු එකෙකි. එය කෙතරම් කුඩා තැන්පතුවක්ද කිවහොත් රෝගියාට ඊට පෙර කිසිදු පපුවේ වේදනාවක් නොතිබෙන්නට ඇත. මේ නිසා ම හෘදයාබාධ වැළැඳෙන රෝගීන් ගෙන් 60% ක් ම ඊට පෙර පපුවේ වේදනාවක් නොතිබුණ අය වෙති.

 

මෙසේ තෙල් තැන්පතු පිපිරෙන්නේ ඇයි ද යන්න සොයා ගෙන ඇත. එහෙත් ඒවා එසේ පිපිරීම වැළැක්වීමට තවමත් අතුදුටු ප්‍රතිකාර විධි සම්මත වී නැත.

 

හෘදයාබාධයෙක ප්‍රධාන ලක්ෂණ කවරේද?

 

පපුවේ ඇති වන සෑම වේදනාවක් ම හෘදයෙන් උපදින වේදනා නොවේ. පපුව මතු පිට ඇති සමෙන්, මස් පිඬුවෙන්, ඉළ ඇට වලින්, ප්ලුර‍ාවෙන් හා පෙනහැල්ලෙන් ඇති වන වේදනාවන්ද පපුවේ වේදනා ලෙස අපට දැනනවා ඇත.

 

එහෙයින්,

 

හුස්ම ඉහළ පහළ යවන විට තීව්‍ර වන වේදනාව හෘදයේ වේදනාවක් නොවේ.

අල්පෙනිති තුඩෙකින් අනිනා වැනි වේදනාවක්, කඩියකු කන්නා වැනි වේදනාවක් හෘදයේ උපදින වේදනාවක් නොවේ.

පපුවේ වම් පැත්තේ ඇති වන වේදනාව හෘදයේ දෝෂයක් නිසා උපදින්නේ ඉතා කලාතු‍ෙරකිනි. (මෙය වැදගත් කරුණෙකි.)

ක්ෂණයකින් ඇති වී නැති වී යන ඕනෑම වේදනාවක් හෘදය රෝග ලක්ෂණයක් නොවේ.

(හෘදයේ වේදනාවක් අඩු ම ගණනේ මිනිත්තු කිහිපයක් පවති.)

 

 

 

හෘදයාබාධයෙක වේදනාව:

 

·         පපුවේ මැද ඇරැඹේ

·         එය පපුව තෙරපන්නා බඳුය. මහ බරක් තුබුවා වැනිය.

·         ඉතා දැඩිය.

·         වම් අත පහළට හෝ හක්ක දෙසට හෝ විහිදී යා හැකිය.

·         පිටපැත්තේ උරපතු ඇට දෙක අතරට ද දිව යා හැකිය.

·         බඩේ දැවිල්ල ලෙස ප්‍රක‍‍ාශ විය හැකිය.

ඒ සමඟ ම අතුරු රෝග ලක්ෂණ කිහිපයක් ඇති විය හැකිය.

එනම්,

 

අධිකව දහඩිය දැමීම.

වමනය හා ඔක්කාරය

පපුවේ ගැස්ම

හිස කරකැවිල්ල

හුස්ම ගැනීමේ අපහසු

 

 

හෘද‍ය‍ාබාධ ඇති කිරීමෙහි ල ඇතැම් අවදානම් සාධක වැදගත් බව වෛද්‍යවරුන් අතර පොදු පිළිගැනීමක් ඇත.

 

එම අනතුරු කාරක සාධක මෙසේය:

 

(අ) ප්‍රධාන සාධක:

දුම්පානය

රුධිරයේ අධික කොලෙස්ටරෝල් මට්ටම

ස්ථුලතාව

අධික රුධිර පීඩනය

දියවැඩියාව

කායික ව්‍යායාම මඳ වීම

මානසික අසහනය

ජන්ම ප්‍රවේණිය

 

 

(ආ) අප්‍රධාන සාධක:

මෘදු ජලය පානය කිරීම

උපත් පාලන පෙති භාවිතය

අධික කෝපි පානය

උපත් බර අඩු වීම

 

මෙම අනතුරු කාරක අවදානම් සාධක වලින් ඈත් වූ තරමට ඔබට හෘදයාබාධයක් වැළැදීමට පවත්නා අවදානම අඩු වේවි. එබැවින් මේ අනතුරුකාරක සාධක අවම කැර ගැනීමට පිළිපැදිය යුතු වත් පිළිවෙත් ගැන දැන සිටීම බෙහෙවින් වැදැගත් වෙයි.

  

 

හෘදයාබාධයක් ඇතිවීමට බහු සාධක බලපෑමක් අවශ්‍යය.

 

මෙහි අදහස නම් හෘදයාබාධයක් ඇති වීමට එක් තනි අවදානම් සාධකයක් පමණක් හේතු කාරක නෙවන බවය. කිසියම් පුද්ගලයකු කෙරෙහි අවදානම් සාධක වැඩි සංඛ්‍යවක් බලපානු‍ෙය් නම් හෘදයාබාධයක් වර්ධනය වීමේ අවදානම ද වැ‍ඩි වෙයි.

 

බහු සාධකත්වය පුදගලයාට බලපාන අයුරු

 

සුමනදාස අධික රුධිර පීඩනයෙන් පෙළෙන්නෙකි. ඔහුගේ ව‍යස අවු 40කි. වයස අවුරුදු 40 ට වැඩි පිරිමියකු කෙරෙහි අධික රුධිර පීඩනය පවතී නම් ඒ හේතු කොට හෘදයාබාධයක් වැළැඳීමට ඔහුට ඇති අවදානම තුන් ගුණයකින් ඉහළ යන බව සංඛ්‍යා ලේඛන අනුසාරයෙන් අපි දනිමු.

 

ප්‍රේමදාස දුම් පානය කරන්නෙකි. ඔහුගේ වයස අවුරුදු 53 කි. කිසියම් පිරිමියකු දුම්වැටි උරන්නේ නම් ඒ හේතු කොට ගෙන හෘදයාබාධයක් වැළදීමට ඇති අවදානම් තුන් ගුණයකින් වැඩි වන බව සංඛ්‍යා ලේඛන වලින් හෙළි වෙයි.

 

කලණදාස අධික රුධිර පීඩනය ඇත්තෙකි. එමෙන් ම දුම්පානයේ ද යෙදෙන්නෙකි. අධික රුධිර පීඩනය නිසා කලණදාසට හෘදයාබාධයක් ඇති වීමට පවතනා අවදානම තුන් ගුණයකින් ඉහළය. එසේ ම දුම්පානය නිසාද එය තවත් තුන් ගුණයකින් ඉහළ ගොස් ඇත. දැන් ඔහුට පවත්නා සමස්ත අවදානම (3+3)=6 ගුණයක් නොව (3x3)=9 ගුණයෙකි.

 

අවදානම් කාරක සාධක අන්‍යොන්‍ය වශයෙන් තියුණු වන්නේ ගුණිත ක්‍රමයටය. (ඵෙක්‍යය ක්‍රමයට නොවේ.)

 

එනිසා යම් පුද්ගලයකු කෙරෙහි අනතුරුදායක සාධක කිහිපයක්ම බලපාන්නේ නම් ඒ තැනැත්තාගේ අවදානම බොහෝ වැඩිය. යම් පුද්ගලයකු කෙරෙහි බලපාන අනතුරුදායක සාධක එකක් පමණක් නම් ඔහුගේ අවදානම අඩුය.

යම් පුද්ගලයකු කෙරෙහි බලපාන අනතුරුදායක සාධක නැති නම් ඔහුගේ අවදානම ඊටත් අඩුය. එහෙත් එය ශුන්‍ය නොවේ. අනතුරුකාරක සාධක යම් පුද්ගලයකු කෙරෙහි බලපෑමට ඒ පුද්ගලය‍ාගේ ප්‍රවේණමය ගති ලක්ෂණ ද වැදගත් වෙයි.




No comments:

Post a Comment