Monday, April 7, 2014

Fwd: හිතුමතේ ජීවිතේ



 වැලිකඩ බන්ධනාගාරයේ අවුරුදු 129ක දඩුවම් කාලයක් ගෙවමින් සිටි කළුතර බී.ඩී. සුමතිපාල නොහොත් 'හිතුමතේ ජීවිතේ' නමැති සිරකරුවා ජනාධිපති තුමාගේ විශේෂ සමාව ලැබ නිදහස ලැබුවේය.

1972 වසරේ කළුතර තිස්ස විද්‍යාල ක්‍රීඩාංගනයේ පැවැති අවුරුදු කුමරිය තරගයේදී පළමු තැනට අභිෂේක ලැබූ මොහුගේ නැඟණිය පැහැර ගෙන දූෂණය කොට මරා දැමූ පොලිස් පරීක්‍ෂකවරයකු ඇතුළු ඝාතකයන් ලුහුබැඳ ගිය 'හිතුමතේ ජීවිතේ' ඔවුන් සියල්ලන්ම අවස්ථා ගණනාවකදී මරා දැමුවේය. එම අරමුණ ඉටුකර ගැනීම සඳහා ඔහු කීප වතාවක් බන්ධනාගාරයෙන් මිදී පලා ගියේය. අරමුණ ජයගත් පසු සාමකාමීව සිරගෙයි ජීවිතය ගත කළේය.

අවස්ථා කිහිපයක්ම මරණීය දණ්ඩනයෙන් ගැලවුණු 'හිතුමතේ ජීවිතේ' පෝරකයට නංවා ගෙලට තොණ්ඩුව දැමීමෙන්ද පසුව ජීවත්වීමට වාසනාව ලද එකම සිරකරුවාද වන්නේය.

ක්‍රියාදාම චිත්‍රපටයකට ඔබින මේ කතාව ඉතා කෙටියෙන් පහත දැක්වේ.

හිතුමතේ begins..

ගෝනදූවේ විසූ සුමතිපාල 17 හැවිරිදි වියේදී ඔහුගේ නැගණිය කුසුමා (කුසුමාවතී) පාසල් යාමෙන් පසු අතුරුදහන් වූ අතර ඇය කොල්ලෙකු හා පැන ගිය බව ගමේ බොහෝ දෙනා විශ්වාස කළ නමුත් ඇගේ දෙමව්පියන් හෝ අයියා එය පිළි නොගත්හ. පොලීසියේ ද පැමිණිළි කළ අතර පොලීසියද නිද්‍රාශීලී බවක් අනුගමනය කළේය. සති කීපයකට පසු දිනක එල්ලයක් නැතිව පාරේ යමින් සිටි සුමතිපාලට කුසුමාගේ පාසල් මිතුරියක් හමුවූ අතර ඇය එතෙක් සඟවාගෙන සිටි රහසක් ඔහුට කීවාය. කුසුමා අතුරුදහන් වූ දින ඇය සමඟ යමින් සිටියේ මෙම යෙහෙළියයි.

පාළු පෙදෙසකදී එක්වරම නැවතූ මෝටර් රථයකට කුසුමා ඇද දමාගෙන ගිය බවත් රථයේ සිටියේ 1972 වසරේ කළුතර තිස්ස විද්‍යාල ක්‍රීඩාංගනයේ පැවැති අවුරුදු කුමරිය තරගයේදී පළමු තැනට අභිෂේක ලැබූ කුසුමාට කිරුළ පැළැන්දූ "දිසානායක අයි.පී. මහත්තයා" බවත් රියදුරු 'විල්සන්' නම් අයෙක් බවත් ඇය කීවාය. (මේ බව කිසිවෙකුට නොකියන්නට ගෙදරින් පොරොන්දු කරගත් නිසා ඇය නිහඬව සිට ඇත.)
පොලීසියට ගොස් අයි. පී. මහතා හමුවුවද ඔහු සුමතිපාල එලවා ගත්තේ නංගී කොල්ලෙක් එක්ක පැන ගිය බව කියමිනි. නංගිගේ අතුරුදන් වීම සම්බන්ධ කිසිදු පරීක්ෂණයක් සිදු නොවන බවත් එවැනි පරීක්ෂණයකට අයි. පී. මහතා ඉඩ නොදෙන බවද පැහැදිළිය.

The Rise of හිතුමතේ

කළුතර නගරයේ කුලී රථ රියැදුරකු වූ විල්සන් පදිංචිව සිටියේ තරමක් පිටිසරට පෙදෙසක රබර් වත්තක් අසළය. සුමතිපාල දින කිහිපයක් නගරයේ කැරැකී විල්සන් රියැදුරුද ඔහුගේ නිවෙස සොයා ගත්තේය. විල්සන් අල්ලා ගන්නට රබර් වත්තේ පාළු කිරි මඩුවකට රිංගා ගත් සුමතිපාල උල් පිහියක් ද ගෙන එහි රැක සිටියේය.

රාත්‍රියේ තනිවම පැමිණි විල්සන් අල්ලා ගත් ඔහු පිහිය පෙන්වා බිය ගන්වා කිරිමඩුව කරා ඇද ගෙන ගියේය. විල්සන් බීමත්ව සිටි නිසා 17 වියැති සුමතිපාලට ඔහු මෙල්ල කිරීම පහසු විය. මරණ බියෙන් තැතිගත් විල්සන් සියල්ල වැමෑරීය.

කුසුමා එදින පැහැරගැනීමෙන් පසු මීගමුවෙ කොච්චිකඩේ අයි. පී. මහතාගේ මස්සිනා කෙනෙකුට අයත් තානායමකට රැගෙන ගිය බවත් මස් කඩ මුදලාලි කෙනෙක්, විදුහල්පති කෙනෙක් ඇතුළු පස් දෙනෙක් අතින් ඇය දින ගණනාවක් දූෂණයට ලක් වූ බව ඔහු කීවේය. මේ විස්තර ඔහු දැනගත්තේ එම තානායම් අයිතිකාරයාගේ රියදුරාගෙනි. ඉන්පසු වෑන් රථයක දමා ඇය කොහේ හෝ ගෙනගොස් මරා පුළුස්සා දමා ඇති බව පසුව එම වෑන් රථයේ රියදුරා පවසනු ඔහුට ඇසී ඇත.

සුමතිපාල විල්සන් මරන්නට ගියේ නැත. ඔහු විල්සන් අත්හැර කළුතර නඟරයේ ප්‍රකට කම්මල්කරුවෙකු සොයා ගොස් කඩොලාන කපන්නට යයි කියා වක් පිහියක් තනවා ගත්තේය. දින තුනකින් පිහිය ඔහු අතට පත් විය.

Revenge Season 1

අයි.පී. දිසානායක පදිංචිව සිටි නිවෙසේ වත්තේ තිබූ කෙසෙල් පඳුරකට මුවාවී සුමතිපාල සිටියේය. ඔහු අත තිබූ පන් මල්ලක අළුත්ම වක් පිහිය තිබුණි. රාත්‍රී 9 ට පමණ හොරෙන් වත්තට ඇතුල් වූ ඔහු දිසානායක පොලිස් ජීප් රථයේ සිට නිවසට ඇතුල් වනු බලා සිටියේය. වත්තේ තිබූ ළිඳ වෙත දිසානායක යන තෙක් ඔහු රැක සිටියේය. නමුත් මුළු රාත්‍රියේම එම අවස්ථාව උදා වූයේ නැත. සුමතිපාල ළිඳ අසල වාඩි වී පාන්දර වනතුරු සිටියේය, පාන්දර පහට පමණ නිවයේ විදුලි පහන් දැල්වුණු නිසා ඔහු පිහිය රැගෙන එදෙසට ගියේය. ටික වේලාවකින් ඉස්තෝප්පු දොර අරින ශබ්දය ඇසුණු ඔහු දිසානායක එළියට එන විටම දොර අසල රැක සිටියේය. එක පහරකින්ම සතුරාගේ හිස කපා වෙන්කළ සුමතිපාල හිස පන් මල්ලේ දමාගෙන වේගයෙන් දිව ගියේය.

ප්‍රධාන පාරවල් මඟහැර අතුරු පාරවල් වලින් ඔහු ගියේ පොලිස් නිළ නිවාස සංකීර්ණය වෙතය. ජේෂ්ඨ පොලිස් අධිකාරිතුමාගේ නිල නිවෙසට ආ සුමතිපාල ලේ බේරෙන පන් මල්ලෙන් මිනිස් හිස එළියට ගෙන අධිකාරිතුමාට භාර දුන්නේය.

"මහත්තයා මහන්සි වෙන්න ඕන නෑ මගෙ නංගි මැරූ මිනිහ මම හොයාගත්තා. දැන් ඔක්කොම ඉවරයි. පින් සිදුවෙයි මහත්තයෝ මාව පෝරකේට යවන්න. තමුන්නාන්සෙගෙන් මම ඉල්ලන්නේ එච්චරයි. ඔන්න මගේ රාජකාරිය මම කළා. දැන් තමුන්නාන්සෙගෙ රාජකාරිය තියෙන්නෙ." සුමතිපාල කීවේය.

පොලිස් අධිකාරිවරයා ගේ දුරකතන ඇමතුමින් පොලිස් නිලධාරීන් රැගත් වාහන කිහිපයක්ම එහි පැමිණ සුමතිපාල අත්තඩංගුවට ගත්තේය. පිහිය පොලිස් භාරයට ගැනුණු අතර හිස රෝහලේ මෝචරියට යැවිණි. පොලිස් අධිකාරිවරයාගේ නියෝගය මත සුමතිපාලගේ කට උත්තරය ගත්තේ සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේදීය.

සුමතිපාල කට උත්තරය ගත් නිලධාරියාට සියලු දේ නොසඟවා හෙළි කළද පොලිස් පරීක්‍ෂකවරයා සිය නැඟණියට කළ විපත ඉඳුරාම දත් බව පැවැසුවා මිස තමා එය දැනගත් ආකාරය හෙළි නොකිරීමට වග බලා ගත්තේය. වඩා වැදගත් කරුණ නම් සිය දඩයමේ අවසානය මෙය නොවේ යැයිද ඔහු කටඋත්තරයේ සඳහන් කිරීමයි.

වයස 18 සම්පූර්ණ කර නොතිබුනත් සුමතිපාලට චෝදනා එල්ල කළේ වැඩිහිටියෙකු ලෙස සළකා ය. මහෙස්ත්‍රාත් නඩු විභාගය ගත්තේ මාස 5 කට පමණ පසුවය. "සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට තමා වරදකරුද නිවැරැදිකරුදැයි" නඩුකාර තැන ප්‍රශ්න කළ අවස්ථාවේ "වැරැදිකරු ස්වාමිනී" යැයි ඔහු නොපැකිළව පිළිතුරු දුන්නේය. 1974 වසර අග භාගයේ මහාධිකරණ නඩු විභාගය ආරම්භ වූයේය. සුමතිපාල තමා වෙනුවෙන් කිසිවකු පෙනී නොසිටින බව ජූරි සභාව ඉදිරියේ නඩුව විභාගයට ගත් ප්‍රථම දිනයේ දැනුම් දුන්නේය. ඒ අනුව නඩු විභාගය කල් තබන ලද අතර සුමතිපාල වෙනුවෙන් පෙනී සිටීමට රජයේ නීතිඥ මහතකු නම් කොට නැවැත නඩුව කැඳවන විට තවත් මාස තුනක් ගතවී තිබුණේය.

1975 මාර්තු මාසයේ නඩු විභාගය අවසන් විය. සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට සුමතිපාල වැරැදිකරු බවට ජූරි සභාවේ වැඩිදෙනා තීන්දු කළහ. 1975 මැයි මස 7 වැනි දින පෙ.ව. 8.05ට බෝගම්බර බන්ධනාගාරයේ බිත්ති හතරක් තුළදී බටුගහ ගෙදර දොන් සුමතිපාල නමැති අය ප්‍රාණය නිරුද්ධ වනතුරු එල්ලා මරණයට පත්කරන්ට නියම කොට මහාධිකරණ විනිසුරු තීන්දුව ප්‍රකාශයට පත්කළේය.

උක්ත අපරාධය සිදුවන අවස්ථාවේ මෙම තැනැත්තා වයස 17ක බාල තැනැත්තකු වුවද මරණීය අපරාධය සිදුකිරීමේ අදහසින් සැලසුම් සහගතව ක්‍රියාකොට තිබීමත් දඬුවමට යටත් කෙරෙන විට වයස 18 සම්පූර්ණ වී තිබීමත් යන කරුණු සැලකිල්ලට ගනිමින් දණ්ඩ නීති සංග්‍රහය ප්‍රකාරව මරණීය දණ්ඩනය ස්ථිරකොට අස්සන් තබන බව මහාධිකරණ විනිසුරුවරයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේය.

බෝගම්බර සිරගෙදර එවකට මරණ දඬුවමට නියමිතව සිටි සිරකරුවන් හත්අට දෙනා අතර සිටි ළාබාල සිරකරුවා වූයේද 18 හැවිරිදි සුමතිපාලය. අනෙකුත් අය අතර අනුරාධපුරේ මරු සිරා, හොඳ පපුවා, බඹරා ආදීන්ද එවක ප්‍රකට මිනීමැරුම් නඩුවක විත්තිකරුවන් වූ කැලැත්තෑවේ ඇල්ප්‍රඩ් සොයිසා, කළු ඇල්බට් සහ විලී මාමා යන අයද සිටියහ.

සුමතිපාල තුළ පෝරකය පිළිබඳ විශේෂ හැඟීමක් තිබුණේ නැත. එහෙත් නැඟණිය දූෂණය කර මරා දැමීමට හවුල් වූ අනෙක් තිදෙනා ගැන හිතෙහි වූ වෛරය ඔහුගේ සිත තුළ කැකෑරෙමින් නිබඳ පීඩා දුන්නේය. එක් අයෙකු කළුතර ප්‍රදේශයේම පුද්ගලයකු වූ විදුහල්පතිවරයාය. අනෙකා වෙන්නප්පුව පැත්තේ මස් කඩකාර මුදලාලිය. තුන්වැන්නා කොච්චිකඩේ ගෙස්ට් හවුසිය හිමි තැනැත්තාවූ මරා දැමූ අයි.පී.ගේ මස්සිනාය. අපායට යතත් යා යුත්තේ ඔවුන් තිදෙනාත් කැටුවම යැයි සුමතිපාල අධිෂ්ඨානසහගත සිතිවිල්ලක පසු වූයේය.

 
හිතුමතේ undead

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට නියමිත දිනයට පෙරදින සුමතිපාල බලන්නට ආ ඔහුගේ මවට හෘද්‍යාබාධයක් සෑදී මිය ගියාය. සුමතිපාල රාත්‍රී ආහාරය බෙදා දුන් ඇලුමීනියම් පිඟාන නවා ඉන් කොටසක් කඩා එය පිහියක් සේ මුවහත් තබා සිය උදරය කීප වරක් කපා ගත්තේය. අන්තිමට ඔහු ගෙලද එක් වරක් කපා ගත්තේය.

මහනුවර මහ රෝහලට ගෙන ගිය සුමතිපාලට ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා ඇතුළු වෛද්‍යවරු සිව් දෙනෙකු විසින් පැය හතරක පමණ බරපතල මට්ටමේ ශල්‍යකර්මයක් කරන ලදී. අවසන් වරට සුමතිපාල සිය ගෙලෙහි සිදුකරගත් තුවාලය එතරම් බරපතල නොවීය. දැඩි සත්කාර ඒකකයට ඇතුල් කළ ඔහු පිළිබඳ ප්‍රශ්ණය පුපුරා ගියේ පසු දින උදයේය.

රාත්‍රියේ ශල්‍යකර්මයට යොමු කළ බී. ඩී. සුමතිපාල නම් සිරකරුවා පෙරවරු 8.05ට මරණ දණ්ඩනයට යොමුකළ යුතු බැවින් ඔහු නැවැත බන්ධනාගාරය වෙත ගෙන යා යුතු යැයි බන්ධනාගාර නිලධාරීහු කියා සිටියහ. එය කිසිසේත් තමාට වැදගත් වන කාරණයක් නොවන බවත්, තමා භාරයේ සිටින රෝගියකු සම්පූර්ණ සුවය ලබනතුරු රෝහලෙන් බැහැරට ගෙන යෑමට තමා අවසර නොදෙන බවත් ප්‍රධාන වෛද්‍යවරයා කියා සිටියේය.

තත්ත්වය උණුසුම් වූයෙන් මහනුවර රෝහල භාර වෛද්‍ය අධිකාරිවරයාද එහි පැමිණියේය. බන්ධනාගාර නිලධාරීන්ගේ තර්කය වූයේ බී. ඩී. සුමතිපාලගේ මරණ දණ්ඩනය සඳහා අධිකරණ අමාත්‍යංශයේ මහාධිකරණ නියෝගයට පිටින් යෑමට තමන්ට කිසිදු ඉඩක් නැති බවය. ඒ අනුව රෝගියා තමන් රැගෙන යා යුතුම යැයි ඔවුහු තර්ක කළහ. බලය යොදා එය වැළැක්වීමට වෛද්‍යවරුන්ට හැකියාවක් නැති බැවින් වෛද්‍ය නියෝගයට පිටින් බලහත්කාරයෙන් රෝගියා ගෙනයන බවට ලිඛිත සටහන් ලබා ගැනීමෙන් පසු රෝගියා රැගෙන යෑමට ඉඩදී වෛද්‍ය අධිකාරිවරයා පිටවී ගියේය.

මේ අතර ශල්‍යකර්මය සිදුකොට නින්දට ගිය ශල්‍ය වෛද්‍යවරුන්ට දැනගන්නට ලැබුණේ රෝගියා මරා දමන්නට ගෙන ගිය බවය.

ඔවුහු සියල්ලෝ වෛද්‍ය අධිකාරි නිල කාමරයට රැස්වූහ. වෛද්‍ය අධිකාරිවරයා බන්ධනාගාර නිලධාරීන් තමන්ට එල්ල කළ අභියෝගයට මුහුණ දිය යුතු යැයි දැඩි අධිෂ්ඨානයක සිටියේය. ඔහු මේ සම්බන්ධයෙන් නීති උපදෙස් පැතුවේය. පෝරකයට නියම වූ සිරකරුවකුට සමාව දීමේ බලය ඒ වන විට පැවැරී තිබුණේ අග්‍රාණ්ඩුකාරවරයාට පමණි. ඔහු දන්නා හඳුනන අධිනීතිඥ මහත්වරුන් කීපදෙනකු ප්‍රකාශ කළේ වහාම අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතාට දැනුම් දෙන ලෙසය. ඒ සඳහා වෛද්‍යවරුන්ට ඉතිරිව පැවැතියේ තවත් මිනිත්තු 20ක් පමණි.

අග්‍රාණ්ඩුකාරවරයාගේ ලේකම්වරයා ඇමතූ වෛද්‍ය අධිකාරිවරයාට ලැබුණු පිළිතුර වූයේ මරණ දණ්ඩනයට කැපවූ සිරකරුවකු නිදහස් කරවා ගැනීමට නම් ලිපි ලේඛන රාශියක් අධිකරණ අමාත්‍යංශය හරහා හුවමාරු විය යුතු බැවින් ඒ සඳහා මාස 3ක කාලයක් අවම වශයෙන් ගතවන බවය. එනිසා එය මේ අවස්ථාවේ කිසිසේත් කළ නොහැකි බව ආණ්ඩුකාර ලේකම් පැවැසීය.

වෛද්‍යවරුන් පරාජය භාරගත්තේ නැත. ඔවුහු අග්‍රාණ්ඩුකාරවරයාට මේ සියල්ල දැනුම් දෙන්නට තීරණය කළහ. වෛද්‍ය අධිකාරිවරයා රාත්‍රියේ සිදුවූ සියල්ල අග්‍රාණ්ඩුකාරවරයාගේ නිවෙසේ දුරකතනය මඟින් ඔහු අමතා දැනුම් දුන්නේය. විලියම් ගොපල්ලව මහතා සිටියේ මහනුවර අග්‍රාණ්ඩුකාර නිල නිවෙසේය. වෛද්‍ය අධිකාරිවරයාට සාවධානව සවන්දුන් හෙතෙම ඔරලෝසුව දෙස බැලුවේය. උදෑසන 7.50 සටහන්ව තිබුණේය. රෝගියාගේ රෝහල් සටහන් පමණක් රැගෙන වහාම අග්‍රාණ්ඩුකාර නිල නිවෙසට එන ලෙස හෙතෙම වෛද්‍යවරයාට දැන්වීය.


හිතුමතේ returns

බෝගම්බර බන්ධනාගාරයේ අලුගෝසුවා පෝරකය මත සිටවූ (බාගෙට සිහිසුන්) සුමතිපාලව ඔහුගේ සහායකයා වැටෙන්නට නොදී අල්ලාගෙන සිටියේය. වේලාව පෙ.ව. 8.02 සටහන්ව තිබුණේය. සුමතිපාලගේ ගෙලට තොණ්ඩුව දමා මනාව සකස් කර ඇත. මුහුණ සුදු ලෝගුවෙන් වසා තිබේ. අලුගෝසුවා පෝරකය ගස්සන ලීවරය දකුණතින් තදින් අල්ලා ගත්තේය.

ඒ මොහොතේ කිසිවෙක් කොරිඩෝව දිගේ එහි පැමිණෙමින් සිටියේය. ඔහු අන් කිසිවකු නොව අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතාගේ එවකට සිටි ලේකම්වරයාය. ඔහු කෙටි ලියැවිල්ලක් බන්ධනාගාර අධිකාරිවරයා අත තැබුවේය. එය කියවමින්ම අධිකාරිවරයා අලුගෝසුවාට අතින් සංඥාවක් දුන්නේය. ලීවරය අත්හළ අලුගෝසුවා වහා සුමතිපාලගේ ගෙලින් තොණ්ඩුව ඉවත් කළේය. හිතුමතේ පෝරකයට නංවා ගෙලට තොණ්ඩුව දැමීමෙන්ද පසුව ජීවත්වීමට වාසනාව ලද එකම ලාංකිකයා විය.

සුමතිපාල නැවතත් මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබිණ. දින 7 කින් ශල්‍ය වාට්ටුවට මාරු කෙරිණ. නැවැත බන්ධනාගාරයට ගෙනයෑම සඳහා වෛද්‍යවරුන් අනුමැතිය දුන්නේ මාස දෙකක් ගතවීමෙන් පසුවය. එල්ලා මැරීම සඳහා වූ නඩු තීන්දුවට අනුව නැවත දිනයක් නියම වනතුරු ඔහු මරණයට කැපවූ අනෙක් සිරකරුවන් මෙන් තනි සිර මැදිරියක සිටියේය. එහෙත් කවර හේතුවක් නිසා හෝ ඒ සඳහා අධිකරණ අමාත්‍යංශයේ ලිපිය ලැබීම පමා වෙමින් තිබුණේය.


Prison Break Season 1

හතුරන් තිදෙනාගෙන් පළි නොගෙන පරලොව නොයා යුතු යයි සිතා ගත් හිතුමතේ සිර ගෙදරින් පළා යාමට සැළසුම් කළේය. මරණ දණ්ඩනයට නියම වූ සිරකරුගේ අඩි 6×4 කුඩා කාමරයේ තිබුණේ සීමිත ආම්පන්න සංඛ්‍යාවකි. කෑම බෙදන තැටිය, කෝප්පය හා මල බඳුන හෙවත් පිස් පෝච්චියක්, වතුර සලාකය ලබාදුන් කුඩා බාස්කට් එකක්ද ඒ අතර විය. එම වතුර භාජනය සිර ගෙදර භාෂාවෙන් හඳුන්වන ලද්දේ කොට්ටුව නමිනි. එය කුඩා බාලදියක් වැන්නකි. එයට අමතරව සිරකරුගේ පරිහරණය සඳහා රෙට්ටුව නමින් හැඳින්වූ ගන රෙද්දක්ද විය. සිර මැදිරියේ බිත්ති නිමවා තිබුණේ විශාල ගල්වලිනි. යම් හෙයකින් බිත්තියේ ගලක් ඉවත් කරගතහොත් ඉන් මතුවන සිදුරෙන් රිංගා සිර මැදිරියෙන් පිටවීමේ හැකියාව තිබේ.

වතුර බාස්කට් එක දෙපසින් තදකර එහි පනිට්ටු කොක්ක ගලවා ගත් ඔහු එය උල් කූරක් සේ යොදා ගනිමින් ගලවටා වූ බදාමය සූරන්නට පටන් ගත්තේය. "Condemned shell" ප්‍රදේශයට රාත්‍රි කාලයේ නිලධාරීන් එන්නේ නැත. ඔහු කම්බි කොක්කේ ආධාරයෙන් ගලවටා වූ බදාමය සූරාදැමීම සිරගෙය නින්දට ගිය පසු ආරම්භ කළේය. එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවූයේ බදාමය සවිමත් බැවිනි. දිනකට කඩල ගොට්ටක් පිරෙන්නට තරම් වූ බදාම කුඩු ප්‍රමාණයක් එකතු වූ අතර ඒවා හිස් පෝච්චියකට දමා නියමිත වෙලාවට එළියට ගෙන ගියේය. බාල්දි කොක්ක යළි තිබූ පරිද්දෙන් සවි කෙරිණ. දිවා කල අනෙකුත් සියල්ල සාමාන්‍ය පරිදි සිදුවිය. ගල වටේ බදාමය සූරා දැමීමෙන් ඇතිවූ කඩතොලු වැසීමට ආහාර සලාකයට ලැබුණු පාන් භාගයේ මැද කොටස හොඳින් පදම් කොට පිටි ගුළියක් සේ අනා භාවිතා කෙරිණි. රාත්‍රි කාලය නොනවත්වාම ඔහු වැඩ කළේය. එම බරැති විශාල ගල මාස එකහමාරක් පමණ යද්දී බුරුල් විය.

පිටතට පැමිණියත් බෝගම්බර හිරගෙදර අඩි 18ක් තරම් උස තාප්පය තරණය කිරීම ගැටළුවකි. එකල සිරකරුවන් නිදා ගත්තේ ඝන අමු රෙද්දෙන් මැසූ ෂීට්වලය. ඒවා රෙට්ටු නමින් හැඳින්විණි. සුමතිපාලට ලැබී තිබූ රෙට්ටුව කලක් පාවිච්චිය නිසා ඉරී තිබුණේය. ඔහු පළමු පියවර වශයෙන් නිලධාරි මහතකුට ඇවිටිලි කොට අලුත් රෙට්ටුවක් ඉල්ලා ගත්තේය. එය බෙහෙවින් ශක්තිමත්ය. රෙට්ටුව තීරුවලට ඉරා කඹයක් අඹරා ගත්තොත් එම කඹේ ආධාරයෙන් සිරගෙදර තාප්පය නැඟ පැන යා හැකිය. රෙට්ටුව තීරුවලට ඉරන්නට පහසු වන පරිදි ඇඟිරි පුරුක්වලින් මැන කපන ස්ථාන සලකුණු කළ සුමතිපාල කැපුම්වලට මුල පුරා රෙට්ටුව සාමාන්‍ය පරිදි බිම එළා නිදාගත්තේය.

සති තුනක් වැඩ කළ ඔහු ගල ගලවා ඇතුලට ගන්නට සමත් විය. අවට පිරිසුදු කොට නැවැතත් ගල පෙරවූ පරිද්දෙන්ම රඳවා එදින වැඩ කටයුතු අවසන් කළේය. පසුදින තීරණාත්මක රාත්‍රිය එළැඹියේය. සුමතිපාල හොඳ ශක්තිමත් කොක්කක් තිබූ කොට්ටු බාල්දියට තමාගේ වතුර සලාකයද ගෙන හැන්දෑවේ ගණන් කිරීමෙන් පසු සිර මැදිරියට වැදුණේය. අවසන් ගණන් ගැනීම සිදු කරන නිලධාරියා මැදිරියට එබී බලන අවස්ථාවේ තද නින්දේ පසුවන ඉරියව්වක සිටි සුමතිපාල ඊළඟ නිමේෂයේ නැඟිට වහ වහා ක්‍රියාත්මක වන්නට විය. රෙට්ටුවෙන් අඩක් තීරු තීරුවලට ඉරාගත් ඔහු ඒවා ශක්තිමත් කඹයක් ලෙස ගොතන්නට විය. විනාඩි 30ක පමණ කාලයක් තුළ අඩි 12ක් පමණ ශක්තිමත් කඹයක් සාදා ගන්නා ලදී. බාල්දි කොක්ක පන්නා එය කඹය අගට ගැට ගැසූ ඔහු ගල ගලවා එළියට ගියේය.

නිසොල්මනේ තාප්පයට කිට්ටු කළ සුමතිපාලට බාල්දි කොක්ක තාප්පය මතට විසි කර සිර කරගත්තේය. අනතුරුව අඩියට දෙකට තාප්පය මුදුනට ළඟා විය. බැම්මට නැඟ බාල්දි කොක්ක අනෙක් අතට සිරකොට කඹය පහළට දමා බිමට රූටා වැටුණේය. ඔහු සිටියේ බෝගම්බර පිටියට නුදුරින් වූ ලඳු කැලෑවේය (දැන් එය නැත.). එතනින් අතුරු පාරක් සොයා ගත් ඔහු ගරාජයක සේවකයෙක් වේලෙන්නට දමා තිබූ ඇඳුම් කීපයක් සොරා ගෙන ගන්නෝරුව දුම්රිය ස්ථානයට දක්වා ගියේය. නුවර සිට පැමිණි බඩු දුම්රියක් එහි නැවැත්වූ අතර එකි කෙළවර එක් මගී පෙට්ටියක් පමණක් අමුණා තිබුණේය. සුමතිපාල ගන්නෝරුවෙන් ඊට නැඟගත්තේය. වනවාසලදී දුම්රියෙන් බැස හිරගෙදරදී හඳුනාගත් යාළුවකුගේ නිවෙසට ගියේය. එහි දින දෙකක් ගතකොට ඔහුගෙන් මුදල් අතමාරුවක්ද කරගෙන වාද්දුව ප්‍රදේශයේ පිහිටි මිතුරකුගේ නිවෙසට ගියේය.

 
Revange Season 2

කුසුමා නැඟණිය දූෂණය කර මරා දමන්නට හවුල් වූ කළුතර ගුරුවරයා සොයා ඔහුට දඬුවම් පමුණුවන්නට දෛවය සුමතිපාලට නියම කර තිබේ. කනිටු පාසලක විදුහල්පතිවරයකු වූ ඔහු පොලිස් පරීක්‍ෂකවරයාට නැඟණිය ගැන ඔත්තු සපයා පසුදින මීගමුව කොච්චිකඩේට ගොස් ඇයව දූෂණය කරන්නටද සහභාගි වී තිබේ. එබැවින් ඔහුට දඬුවම් කළ යුතුමය.
යහළුවාගෙන් බයිසිකලයක් ඉල්ලාගත් සුමතිපාල කළුතර නගරය මඟහැර අතුරු පාරවල් ඔස්සේ අදාළ විදුහල්පතිවරයාගේ වංහුං සොයා බණ්ඩාරගම පාරේ සැරිසැරුවේය. දින කිහිපයක් ඇවෑමෙන් ඔහුට තමා සොයන ගොදුර හමුවිය. පරගස්තොටට ගොස් නියමිත ගුරුවරයාගේ නිවෙස සොයාගත් සුමතිපාල එම නිවෙසින් වතුර වීදුරුවක්ද ඉල්ලාගෙන පානය කොට ආපසු පැමිණියේය.

බන්ධනාගාර යහළුවාගේ නිවෙසේ සතියක් නතරව සිටි සුමතිපාල ඊළඟ කාර්යය සඳහාද කටයුතු ප්ලෑන් කළේය. ඔහුගේ මිතුරා ඒ දිනවල ළිඳක් කපන්නට මුලපුරා තිබුණේය. ඔහු මිතුරා සමඟ හරි හරියට මහන්සි වී ළිඳ කැපුවේය. සතිඅන්තයේ දිනක මිතුරාගෙන් ගමන් වියදම් ඉල්ලාගත් ඔහු වනවාසල දුම්රිය ස්ථානයෙන් දුම්රියක නැඟ මීගමුවට ගියේය. කිසිවකුට නොදැනෙන්නට නොහැඟෙන්නට කොච්චිකඩේට ගොස් නැඟණිය පැහැරගෙන විත් රඳවාගෙන සිටි "නයගරා" ගෙස්ට් හවුසිය සොයා ගන්නට උත්සහ කළේය. එය සොයා ගැනීම එතරම් අසීරු කරුණක් නොවීය. අසළ කුඩා තේ කඩයක මුදළාලි කෙනෙක් සමඟ කතාවට වැටුණු ඔහු දැනගත්තේ තානායමේ කෙරෙන වල්කම් පලාත පුරා ප්‍රසිද්ධ බවත් පෙත්සම් ගැසුවද කිසිවක් නොවූ බවත්ය. තමා හිස ගසා දැමූ අයි.පී.ගේ නංගි බැඳපු මස්සිනාගේ ගෙස්ට් හවුසිය මෙය බව සහතිකවම දැන ගත්තේය. පසුව ඒ අසළ ගැවසී තානායම් අයිතිකරු දැකබලා ගත්තේය. ඔහුගේ හැඩරුව නිරීක්‍ෂණය කොට ආපසු වනවාසල ගියේය.

එතැන් සිට දෙවැනි දිනයේ දඩයම් ගමන අරඹන්නට තීරණය කළ ඔහු යාළුවාගේ කලිසමක් සහ කමිසයක් ඉල්ලා ගත්තේය. තරමක් පැරැණි ගමන් බෑගයක්ද මුදලින් රුපියල් 600ක්ද යාළුවා සුමතිපාලට දුන්නේය. වැදගත් මගියකු ලෙස වෙස්වළාගත් සුමතිපාල වනවාසලින් පිටත්වූ දිනයේම මධ්‍යහ්නයේ කොච්චිකඩේ හන්දියෙන් බැස "නයගරා ගෙස්ට් හවුස්" වෙත ගියේය. රාත්‍රිය නැවතී පසුදින උදෑසන ආපසු යෑමට කාමර ගාස්තුව එකල අය කළේ රු. 100කි. සුමතිපාල එක් රැයක් පමණක් එහි නවාතැන් ගන්නා බව කීවේය.

සේවකයෙක් කාමරය පෙන්නන්නට ඔහු කැටුව ගියේය. එහි තරමක් වටිනා රන් පැහැති දොර අගුලක් දැමූ කාමරයක් තිබුණේය. සුමතිපාල ඒ කාමරේ දෙන්නැයි ඉල්ලා සිටියේය. "මහත්තය එක අපේ මුදලාලිගෙ කාමරේ. ඒක පිට අයට දෙන්නෙ නෑ." සේවකයා කීය. සුමතිපාල මුදලාලිගේ කාමරයට යාබද කාමරයේ නවාතැන් ගත්තේය. දිවා ආහාරයද තානායමෙන්ම ගත්තේය. ගමන් මල්ල එහිම තිබෙන්නට හැර කලිසමෙන් හා කමිසයෙන් සැරැසී කාමරයේ යතුරද රැගෙන ආලින්දයට පැමිණියේය. ඒ වන විටත් මුදලාලි පැමිණ නැත. ගරාජයේ මෝටර් රථය නොවීය. කොච්චිකඩේ හන්දියට ගිය ඔහු එහිදී හලාවත බසයකට නැඟුණේය. වයික්කාල කඩමණ්ඩියේ ලංකාවේ සුප්‍රසිද්ධ පිහි වෙළෙන්දෝ සිටිති. පාර දෙපැත්තේම පිහි කඩ තිබේ.

සුමතිපාල පිහි මැස්සක් ළඟ නතර වී සිය රාජකාරියට සරිලන පිහිය කුමක්දැයි මන්නා පිහි, වක් පිහි, දික් පිහි, මේස පිහි, මස්කඩ පිහි, මාළු කපන පිහි ආදිය අතර දෙනෙත් එහා මෙහා යැව්වේය. තරමක් දිග මිටක්ද සහිත දිලිසෙන මුවාතකින් යුතු තලයක් සහිත මන්නා පිහියක් ළඟ ඔහුගේ දෙනෙත නතර විය. එය මිලට ගත් ඔහු සිමෙන්ති උරයකින් එය ඔතාගෙන තානායමට යෑමට පෙර දෙමළ චිත්‍රපටියක්ද නැරඹීය. රාත්‍රි 9.15ට චිත්‍රපටය අවසන් විය. රාත්‍රී ආහාරය කඩයකින් ගත් ඔහු නැවත තානායමට ගියේය. තානායමේ ගරාජයේ මෝටර් රථයක් නවත්වා තිබේ. ඒ දහවල් මිදුලේ නවත්වා තිබූ තානායම අයිතිකරුගේ මෝටර් රථය බව ඔහු හැඳින ගත්තේය.

හිතුමතේ තමාගේ කාමරය හා මුදලාලිගේ කාමරය හැඳිනගෙන තානායමේ වහළයට නැග උළුකැට කීපයක් ඉවත් කිරීමෙන් පසු මුදළාලිගේ කාමරයට විවෘත වන නානකාමරයට බැස්සේය. නානකාමරයේ දොර මඳක් විවර කළ විට කාමරයේ දෙදෙනෙකු සිටින බව පෙණිනි. පිරිමියා නිරුවතින් ඇඳේ දිගා වී සිටියේය. හිතුමතේ ඔහුට ළං වන විට ඔහු "හොරක්.. හොරෙක්.." යයි කෑ ගැසීය. සුමතිපාල හොඳින් නැවී තානායම් අයිතිකරු, කළුතර අයි. පී. මහතාගේ මස්සිනා නිසැක ලෙස හඳුනා ගත්තේය.

'යකෝ... මම කුසුමාවතීගේ අයියා සුමතිපාල' යැයි මන්නා පිහිය ඔසවමින් සුමතිපාල ශබ්ද නඟා කීවේය.

ඊළඟ නිමේෂයේදී මන්න පිහි පහර විදුලි වේගයෙන් තානායම්කරුගේ ගෙල මත පතිත වූයේය. කඳින් වෙන්වූ හිසත් කවන්ධයත් පසෙකට ඇලවී ගියේය.

තානායම්කරුගේ සිරුරට යටවී හුන් ළාබාල කෙල්ලගේ කෑ ගැසීම මැද සුමතිපාල තානායම්කරුගේ බොකුටු කොණ්ඩයෙන් අල්ලා හිස වම් අතට ගෙන කාමරයේ දොර හැර දකුණතින් ගත් මන්නා පිහියත් සහිතව මිදුලට පැන්නේය. ගේට්ටුවෙන්ද පාරට පැනගත් ඔහු සුළු වේලාවක් තුළ සුමතිපාල කොළඹ - පුත්තලම් පාරේ මීගමුව දෙසට වේගයෙන් ගමන් කරමින් සිටියේය.

ඔහු යමින් සිටියේ තෙල්වත්ත පොලිස් මුරපොළට දෙසටය. පාන්දර නිසා පාරවල් පාළුවට ගොස් තිබිණි. නමුත් කිලෝමීටර් 7ක් පමණ මඟ ගෙවා තෙල්වත්ත පොලිස් මුරපොළ ආසන්න වන විට මඟ දිගට කිහිප දෙනෙක් මිනිස් හිසක් හා පිහියක් අතින් ගත් අයෙක් පාරේ යන බව දැක තිබිණි. මුරපොළ අසළට ගිය ඔහු පිහිය හා හිස එහි තබා ක්ලාන්තව වැටිණි. පොලිස් නිලධාරියකු තමන් පානය කරන්නට ගෙනැවිත් තිබූ වතුර බෝතලයක් සුමතිපාලගේ හිස මත වක්කෙළේය. හීතල වතුර සිරුර පුරා ගලා යනවිට සුමතිපාල නැවැත ප්‍රකෘති සිහියට පැමිණියේය.


Prison Break Season 2

හිතුමතේ අනුරාධපුරට යවනු ලැබිණි. ඔහුට දෙවන වර පැනයාමට උපකාරී වූයේ 1971 කැරැල්ලයි. අත්අඩංගුවට ගත් පිරිස් එන්න එන්නම වැඩිවීම නිසා අනුරාධපුර බන්ධනාගාරය තුළ තදබදය එන්න එන්නම වැඩි වී පහසුකම් අවම විය. එවැනි තත්ත්වයක් තුළ සිරගෙදරින් පැනයෑම සුමතිපාලගේ පමණක් නොව බොහෝ දෙනාගේ පොදු අවශ්‍යතාවක් බවට පත් වෙමින් පැවැතියේය. ජ.වි.පෙ.ට සම්බන්ධ කීප දෙනෙක් පැන යන්නට තීරණය කර පැනයන ප්‍රථම කණ්ඩායමද සංවිධානය කළහ. ජ.වි.පෙ. සාමාජිකයන් සමඟ මරු සිරා සමීප ඇසුරක් පැවැත්වූ නිසා ඔහු ඊට සම්බන්ධ විය. හිතුමතේ මරු සිරාගේ මිතුරා නිසා ඔහු ද එයට සම්බන්ධ විය.

මරු සිරාගේ කණ්ඩායමට පැවැරූ වැඩ කොටසට සුමතිපාලද සහාය වූයේය. ඉවත දැමූ මලකෑ දිරාපත්වූ බාල්දි ගොඩක් මුල්ලක තිබිණි. ඉන් පන්නාගත් බාල්දි කොකු දිග හැර බිම උරච්චි කරමින් තුඩ මුවහත් කොට කුඩා හෙල්ලක් මෙන් සකසා පස් යට සඟවා තබන්නට ඔවුහු කටයුතු කළහ. දින කීපයක් තුළ උල් යකඩ කූරු 15ක් තනා අවසන් කොට පස් යට තැන්පත් කෙරිණි.

ප්‍රහාරය ආරම්භ කිරීම සඳහා ජ.වි.ප. සාමාජික "හීන් බණ්ඩා" උපදෙස් දී තිබුණේ උදෑසන ප්‍රධාන ‍දොර සම්පූර්ණයෙන් විවෘත වන වෙලාවය. දිනය තෝරා ගැනිණි. එදින උදෑසන කෑම පෝලිමේ සිරකරුවන් වැඩි පිරිසක් සිටින අවස්ථාවක යොදවා සිටි ඔත්තුකරුවකු විසින් ප්‍රධාන දොර අරින බවට සංඥාව ලබාදෙන ලදී. 15ක පමණ කණ්ඩායමක් ගේට්ටුව දෙසට දිව ගියහ. ඔවුන් ඇතැමකු අත ඉතා තියුණු උල් සහිත හෙල්ල තිබිණි.

ජේලර්ලා පිරිසක් බැටන් පොලු අතැතිව ඔවුන්ට හරක් කැපූ නමුත් යකඩ උල්වලින් පෙරළා පහරදුන් විට තත්ත්වය පාලනය වූයේය. නිල් පැහැති බන්ධනාගාර වෑන් රථයක් ප්‍රධාන දොර ඇතුළත කාර්යාලය අසල නතර කර තිබුණේය. කිසිවෙක් එය පණගැන්වීය. ආයුධ රාක්කයට කඩා පැන්න කිහිප දෙනෙක් අගුළු කඩා තුවක්කු හත අටක්ම බෙදා ගත්හ.
ආයුධ දුටු ජේලර්ලා පසු බැස ගියහ. වෑන් රථය පිටත්වන විට සිරකරුවෝ තිස් තුන් දෙනෙක් එහි නැඟ සිටියහ. මරු සිරාත් ලයනලුත් තුවක්කු අතැතිව පැති දොරේ එල්ලී ගමන් කළහ.

සුමතිපාල රිපීටර් තුවක්කුවක් අල්ලා ගෙන සිටියේය. එක් සිරකරුවකු වහල මත වාඩිවී හුඩ්රැක් එක අල්ලාගෙන සිටිනු පෙනිණි. විලච්චිය පාර දෙපස මිනිස්සු දෑත් හිසේ බැඳ තුෂ්ණීම්භූතව බලා සිටියහ.

අනුරාධපුර සිරගෙදරින් එළියට පැමිණි වෑන් රථය විලච්චිය පාරට වැද වේගයෙන් ධාවනය වූයේය. වෑන් රථය වංගුවක් ගනිද්දී එහි පසුපස දොර ගැලවී විසිවී ගියේය. පසුව සැතපුම් 8ක් ඉදිරියට ගිය වාහනය පාර අයිනේ වූ තරමක් විශාල වීර ගසක හැපී නතර විය. සිරකරුවෝ මල්වතු ඔයට උතුරින් වූ වනාන්තරයට රිංගා ගත්හ. මරු සිරා, ලයනල් සහ සුමතිපාල එදිනම සෙසු පිරිසගෙන් සමුගෙන පුලියන්කුලම කැලයට මාරු වූහ. ජ.වි.ප. සාමාජිකයෝ ඉදිරියට ගොස් ඒ වන විටත් වනගතව සිටි ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් සමඟ එකතු වූහ. (සෝමපාල, ගුරුසිංහ සහ ලොකු බණ්ඩා ඒකනායක යන ජ.වි.පෙ. නායකයෝ එකල තන්තිරිමලය අවට කැලයේ කඳවුරු බැඳ සිටියහ. පසුව ජ.වි.පෙ. පිරිස් වඩා සංවිධානාත්මක ලෙස දෙවන prison break එකක් සැළසුම් කළ අතර අනුරාධපුර සිරගෙයි උන් විශාල පිරිසක් බේරා ගනු ලැබිණි.)

සුමතිපාල මරු සිරාගෙන් සමු ගෙන හේන් ගොවියකු සේ වෙස් වළාගෙන පැමිණ ගල්ගමුවේ යහළුවකුගේ ගෙදර දින දෙකක් නතරව සිටියේ සිරගෙය කඩා පලායෑමේ කතාව යටපත් වනතුරුය.

දෙවැනි පලායෑමේ මෙහෙයුම ආරංචි වන විට සුමතිපාල කළුතර වස්කඩුවේ මිතුරකුගේ නිවෙසට පැමිණ සිටියේය. සිය පියාද මියගිය බව ඔහුට අසන්නට ලැබිණි. නංගිත්, අම්මත්, තාත්තත් ඇතුළු ඔවුන්ගේ පවුල නැවැත හමුවිය යුත්තේ මෙලොව නොව එලොවේදීය. ඊට පෙර කළුතර සිට කොච්චිකඩේට ගොස් නංගිව දූෂණය කළ ගුරුවරයාත්, හලාවත ආරච්චිකට්ටුවේ මස් කඩ මුදලාලිත් සමඟ ගණුදෙනු බේරා ගන්නට තිබේ.

Revange Season 3

සුමතිපාලගේ මිතුරා ඔහුගේ බිරියට සුමතිපාලව හඳුන්වා දුන්නේ අනුරාධපුර පළාතේ සිට පැමිණි දුර බැහැර ඥාතියකු හැටියටය. එබැවින් දින කිහිපයක් එම නිවෙසේ ගතකිරීමට අපහසුවක් නොවීය. මිතුරාගේ බයිසිකලය ඉල්ලාගත් සුමතිපාල පරගස්තොට පැත්තට බයිසිකලය පැදගෙන ගොස් කලින් දැන සිටි මංසලකුණු ඔස්සේ ගොස් නංගී දූෂණය කර මරාදැමීමට සහාය වූ ගුරුවරයාගේ නිවෙස සොයා ගත්තේය. එම නිවෙස පැරැණි පන්නයේ එකකි. වත්ත තරමක් විශාලය. කෙසෙල් වගා කර තිබේ. සුමතිපාල නිවෙසට වැටුණු සුදු වැලි පාර ඔස්සේ මිදුලටම බයිසිකලය පැදගෙන ගියේය. ගුරුවරයාගේ බිරිය යැයි සිතිය හැකි කාන්තාවක් ආලින්දයට පැමිණියාය. "නෝනා කෙසෙල් කැනක් දෙකක් කපාගන්න පුළුවන්ද කියලයි බැලුවේ." සුමතිපාල අහිංසක ලීලාවෙන් ඇසුවේය. මෙහේ කෙසෙල් කැන් නැතැයි ඇය පිළිතුරු දුන්නාය. මේ අවස්ථාවේ මෝටර් සයිකලයකින් ගුරුවරයාද එහි ආවේය. ඔහුගේ පෙනුම මනාව හිතට ගත් සුමතිපාල පිටත්විය.

පසුදින සුමතිපාල නැවැත සයිකලයට නැඟී පයාගල රේන්ද වාඩියකට ගියේය. එය අයිතිකරු හිතුමතේගේ පියා හඳුනන නමුත් සුමතිපාල මතක නැත. වාඩියෙන් මල් කපන පිහියක් ඉල්ලාගත් ඔහු එදින දවස ගෙවෙනතුරු එහෙ මෙහේ රස්තියාදු වී රාත්‍රී 10 ට පමණ ගුරුවරයාගේ නිවසට ගියේය. වත්තේ කොනක සැඟවී සිටි ඔහුට නින්ද ගියේය. පනිට්ටුව සෙලවෙන සද්දයෙන් ඇහැරුණු ඔහු ගුරුවරයා බාල්දියක්ද රැගෙන වැසිකිළිය දෙසට යමින් සිටිනු දුටුවේය. වැසිකිළි දොර වසාගත් පසු සුමතිපාල එක් අතකින් පිහියද ගෙන පොල් පිත්තක් බිත්තියට තබා ඒ මත නැඟී කවුළුවෙන් වැසිකිළිය තුළට එබී බැලුවේය. පිහිය සහිත අතද ඇතුළට ගත්තේය.

සුමතිපාල එක් අතකින් පිහියද ගෙන එහි කවුළුවකින් එබුනේය. පොල් පිත්තක් බිත්තියට තබා මත නැඟී කවුළුවෙන් වැසිකිළිය තුළට එබී බැලුවේය. කොන්ක්‍රීට් තහඩුව එක් අතකින් අල්ලාගෙන පිහිය සහිත අතද ඇතුළට ගත්තේය.

වැසිකිළිය තුළ සිටි මිනිසා ඔහුගේ හිසට වැලි සහ බදාම කැට වැටීම නිසා උඩ බැලුවේය.

කුප්පි ලාම්පුවේ එළියෙන් සිහින් උඩු රැවුලක් සහිත මනමාල මුහුණ සුමතිපාල හැඳින ගත්තේය. "කවුද යකෝ මේ?" ගුරුවරයා කෑගැසුවේය. "මම තොපි මරාදාපු කුසුමාවතීගේ අයියා." සුමතිපාල කෑගැසුවේය.

ඊළඟ මොහොතේ ඇසිල්ලකින් වැසිකිළියේ ‍ෙදාර අරින්නට නැඟී සිටි මිනිසාගේ ගෙල හරහා මල් කපන පිහිය ඇදී ගියේය. කවන්ධය වැසිකිළිය තුළම වැටුණු අතර හිස වැසිකිළියෙන් පිටතට විසිවී ගියේය. සුමතිපාල එක් අතකින් කෙස්වැටියෙන් අල්ලාගත් හිසත් අනෙක් අතින් ගත් ලේ තැවරුණු පිහියත් රැගෙන දර මඩුව අසලට ගොස් සයිකලය ගෙන එහි දමාගෙන ආ ගෝනියක් ලෙහා හිසත් පිහියත් ඒ තුළට දමා බැඳ ගත්තේය.

බණ්ඩාරගම ප්‍රධාන පාරට පැමිණි ඔහු කළුතර දෙසට වේගයෙන් සයිකලය පැද ගියේය. පොලිස් අධිකාරිවරයාගේ නිල නිවාසය අසලට එන විට වේලාව උදෑසන 6.00 පසුවී තිබුණේය. ඔහු දහදිය දමා දියබත්ව සිටියේය. අලුයම ව්‍යායාම සඳහා බැහැර සක්මනෙහි යෙදුණු සහකාර පොලිස් අධිකාරි තැන අරින ලද ගේට්ටු අතරින් නිල නිවෙසට ඇතුළු වෙමින් සිටියේය.

ඔහු පසුපසම ගේට්ටුවෙන් ඇතුළු වූ සුමතිපාල සයිකලය නවත්වා "ඔන්න මහත්තයෝ මම අනිත් එකාවත් ඉවර කෙරුවා" යැයි ගෝනිය ලෙහා හිස එළියට ගත්තේය.


මස්කඩ මුදලාලි ගේම ඉල්ලයි..

කළුතර මිනීමැරුමේ මූලික විමර්ශන අවසන් වන තුරු කෙටි කාලයක් කළුතර බන්ධනාගාරයේ සිටි සුමතිපාල නැවත වැලිකඩ බන්ධනාගාරයට මාරු කෙරිණි. වැලිකඩදී ඔහුට සිරිපාල එනම් මරු සිරා අනුරාධපුර විජයපුර වතුර ටැංකිය අසල වෙඩි වැදී වැටී සිටියදී අල්ලාගනු ලැබූ බව අසන්නට ලැබිණි. මරු සිරා සියදිවි නසා ගැනීමට වෙඩි තබාගෙන සිටියත් ඔහු මියගියේ නැත.

සුමතිපාලගේ කැරැට්ටුව දන්නා පැරැණි සිරකරුවන් අතර ඔහුට කිසියම් ගෞරවයක් හා සැලකිල්ලක් තිබුණේය.

සුමතිපාලට මෙන්ම සුපිරි වැඩකාරයන් සේ සැලකූ ඇතැම් වැඩකාරයන්ට කෑම පෝලිමේදී මස් කෑල්ලක් වැඩිපුර ලැබුණේය. එවැන්නෝ සමහර විට විවිධ හේතු දක්වමින් බන්ධනාගාර රෝහලේම සිටියහ. සුමතිපාල සාමාන්‍ය සිරකරුවන් අතරම සිටියේය. සුමතිපාලට හිතවත්කම් දක්වන සිරකරුවෙක් දිනක් සවස් භාගයේ ඔහු වෙත පැමිණ රහසක් කනේ තැබුවේය. ඉන් කියැවුණේ ළඟදී ඇතුළට පැමිණි සිරකරුවකු සුමතිපාල ගැන විස්තර තමාගෙන් ඇසූ බවත් මාසයක පමණ කෙටි අච්චුවකට ඔහු සිරගෙට පැමිණ ඇති බැවින් ටිකක් සැලකිල්ලෙන් පසුවීම නුවණට හුරු බවත්ය.

පසුදින යහළුවා සුමතිපාලට සැක සහිත සිරකරුවා පෙන්වා දුන්නේය. ඔහු වෙනත් කිසිවකු හා කතාකරමින් සිටියදී සුමතිපාල ඔහු හොඳින් නිරීක්‍ෂණය කර ගත්තේය. සුමතිපාල අදාළ තැනැත්තා පිළිබඳ විස්තර සොයා බැලුවේය. හෙතෙම ජා-ඇළ ප්‍රදේශයේ අයෙකි. නම ලක්‍ෂ්මන්ය. කොන්ත්‍රාත්තුවට මිනී මරන පාතාලකාරයෙකි. නමුත් මෙවර සිරගෙයි සිටින්නේ ගංජා සමඟ පොලිසියට අසුවී වරද පිළිගෙන උසාවියෙන් නියම කළ දඩය නොගෙවා සිරගතවීමෙනි.

එම තොරතුරු එතරම් යහපත් නැත. සමහරවිට කොච්චිකඩේ ගෙස්ට් හවුස්කාරයාගේ ඥාතීන් හෝ තවමත් තමා සොයමින් සිටින ආරච්චිකට්ටුවේ ජස්ටින් මස්කඩ මුදලාලි තමා මරා දැමීම සඳහා මේ පුද්ගලයා බන්ධනාගාරයට දැම්මා වෙන්නට පුළුවන. ලක්‍ෂ්මන් කිසිවිටෙක සුමතිපාල හා සමඟ කතාබහ නොකළේය. එහෙත් නිතරම තමා පෙනෙන තෙක් මානයේ සිටීමට ඔහු වෑයම් කරන බව සුමතිපාලට ඒත්තු ගියේය. ගංජාකාරයාගේ අච්චුව අවසන් වීමට තිබුණේ තවත් දින 14කි. ඔහු තුළ නොඉවසිල්ලක් වැඩෙන බව සුමතිපාලට වැටහුණේය. බොහෝවිට සුමතිපාලගේත් ගංජා ලක්‍ෂ්මන්ගේත් ඇස් එකිනෙක හමුවූ අතර දෙදෙනාම වහා ඉවත බලාගත්හ. ඔහු ඉව අල්ලමින් සිටින්නේ නිසැක ලෙසම තමා නින්දට පත්වන මොහොතක් අල්ලා ගන්නට බව සුමතිපාල දැන සිටියේය. රාත්‍රි කාලය සුමතිපාලත් ලක්‍ෂ්මනුත් වැසුණේ තවත් සිරකරුවන් 40ක් සමඟ විශාල ෂෙල් එකකය. බොහෝවිට සුමතිපාල නිදාගත්තේ නැත. අඩ නින්දේ නමුත් සෑම මොහොතක්ම සෝදිසියෙන් පසු වූවේය. මේ පුද්ගලයාට අහේතුකව ප්‍රහාරයක් එල්ල කරන්නටත් බැරිය. බන්ධනාගාරයට පැමිණිලි කිරීම එක අතකට මදිපුංචි කමකි. අනෙක් අතට ඒ සඳහා ඔප්පු කළ හැකි කිසිදු සාක්‍ෂියක්ද නැත.


හිතුමතේ vs ගංජා ලක්‍ෂ්මන්..

සුමතිපාල එන ඕනෑම තත්ත්වයකට තමාම මුහුණ දෙන්නට තීරණය කළේය. ගංජා ලක්‍ෂ්මන් අත කිසිදු අවියක් හෝ පහරදිය හැකි උපකරණයක් පෙනෙන්නට නැති බවත් හිතුමතේ නිරීක්‍ෂණය කළේය. ලක්‍ෂ්මන් නිදහස් වී යන්නට තවත් තිබුණේ දින 4කි. දින තුනක්ම සුමතිපාල ඇහැක් පියෙව්වේ නැත. තමාට අතක් තිබ්බොත් අපායට යතත් ඒකාවත් අරගෙන යනවා යැයි සුමතිපාල සිතා ගත්තේය. අවසන් දින අවසන් රාත්‍රියද උදාවිය.

සුමතිපාල අලුයම් යාමය පැමිණෙනතුරු අසීරු රාත්‍රිය නොනිදා පහන් කෙළේය. ඒ වනවිටත් ඔහු දින තුනක් නිදි වරා සිටියේය. අලුයම 4 පසුවූ පසු ඔහු නින්දට පරාජය වූයේය.

සුමතිපාලගේ පියවුණු දෙනෙතට තමා වෙත වේගයෙන් පතිත වන කිසිවක ඡායාවක් දැනුණේය. විදුලි වේගයෙන් කිසිවක තියුණු තුඩක් සුමතිපාලගේ වම් ඇස අසළින් කිඳා බැස්සේය. ඇසෙන් එළියට පැන්න උණුසුම් ලේ දහරාවක් මුහුණ පුරා පතිත වූයේය. දෑස් අන්ධකාරයේ ගිලී විදුලි වේගයෙන් නැඟී සිටි සුමතිපාල එසේ නැඟිටිමින්ම ඇසට කිඳා බැස තිබූ යකඩ කූර අතින් ඇදගනිමින්ම තමා වෙත නැඹුරු වී සිටි මිනිසා පෙරළාගෙන ඇනගෙන ඇනගෙන ගියේය. ඔහුගේ මුහුණ ලෙයින් පෙඟී තිබුණේය. ඔහු උල් පහර එල්ල කෙළේ කිසිවක් නොපෙනී අඳුරේය. මහා ගාලගෝට්ටියකින් සෙසු සිරකරුවන් සුමතිපාල අල්ලා මෙච්චල් කරන විට සුමතිපාලගෙන් පහර කෑ මිනිසා ලේ විලක මැරී සිටියේය. ඒ අන් කිසිවකු නොව ජා-ඇළ ගංජා ලක්‍ෂ්මන්ය.

හදිසි මරණ පරීක්‍ෂණයේදී හෙළි වූයේ සුමතිපාල ලක්‍ෂ්මන්ට තියුණු යකඩ උලකින් පහර 46ක් එල්ල කර ඇති බවය. සුමතිපාලගේ ඇස කෙළවරට එල්ල වූ පහර උඩුතල්ල දක්වා අඟල් දෙකක් ඇතුළට බැස තිබුණේය. සිරගෙට පැමිණි මාරයා සුමතිපාලට කොකා පෙන්වා ලක්‍ෂ්මන් කැඳවාගෙන ගොස් තිබුණේය.

කොළඹ නයනාරෝග්‍ය ශාලාවේත්, ජාතික රෝහලේත් මාසයකට ආසන්න කාලයක් සුමතිපාල ප්‍රතිකාර ලැබුවේය. යකඩ කූර වම් ඇසට දශම කිහිපයක් ඔබ්බෙන් කිඳා බැස තිබූ හෙයින් ඔහුට පෙනීම සම්බන්ධ ගැටලුවකට මුහුණපාන්නට සිදුවූයේ නැත.

උඩුතල්ල සිදුරු කරමින් ඇති වූ තුවාලයද ක්‍රමයෙන් සුවපත් විය. ඔහු යළිත් වැලිකඩ සිරගෙදරටම එවනු ලැබිණ.

Prison Break Season 3

තමා මරා දැමීම සඳහා ලක්ෂ්මන් බන්ධනාගාරයට එවූයේ කවුදැයි යන ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට සුමතිපාලට හැකිවිය. පුත්තලම් පාරේ මස්කඩ කිහිපයකම හිමිකරුවකු වූ ආරච්චිකට්ටුවේ ගැස්ටන් මුදලාලි මේ සිදුවීම පිටුපස සිටියේය. ගැස්ටන් කොච්චිකඩේ ගෙස්ට් හවුස් අයිතිකාරයකු වූ කළුතර පොලිස් පරීක්ෂකගේ මස්සිනාගේ මිතුරෙකි.

කුසුමාවතී වනාතවිල්ලුවට රැගෙන ගොස් ඝාතනය කරන්නට මඟ පෙන්වා ඇත්තේ ඔහුය. දැන් සුමතිපාල මරා දමන්නට ගොස් පොල්ල වරද්දා ගැනීම නිසා ගැස්ටන් මුදලාලිගේ ඉරණම තවදුරටත් තීන්දුවී තිබේ.

ශල්‍යකර්ම කිහිපයකට යොමු කිරීමෙන් පසු සුවය ලැබූ 'මරු සිරා' නොහොත් සිරිපාල සුවය ලබා නැවතත් අනුරාධපුර බන්ධනාගාරයට පැමිණියේය. මරු සිරා සුවය ලබා අනුරාධපුර බන්ධනාගාරයේ සිටින බව ඇසීමම ප්‍රදේශය පුරා මහත් ආන්දෝලනය ගෙන දෙන සිදුවීමක් වූයේය.

අනුරාධපුර බන්ධනාගාරයට පහරදී සිරෙන් පැනයෑම පිළිබඳව චූදිතයන්ට විරුද්ධව අනුරාධපුර මහෙස්ත්‍රාත් උසාවියේ නඩු පවරා තිබුණේය. එම නඩුව විභාගය සඳහා මේ අතර දින නියම වූයේය. නඩු විභාගයට දින කිහිපයක් තබා සුමතිපාල අනුරාධපුර බන්ධනාගාරයට මාරු කරනු ලැබුවේය. නැවැතත් හිතුමතේ සුමතිපාල, මරු සිරා සහ ලයනල් අනුරාධපුර බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂිත සිරකරුවන් රඳවන කොටසේ රඳවනු ලැබ සිටියහ. එය සුමතිපාලට මහත් සතුටට හේතුවක් වූයේ මරු සිරාත් ඔහුත් දෙදෙනාම එලොව ගොස් මෙලොවට පැමිණ සිටීම නිසාය.

නඩු විභාග වූ සෑම දිනකම සිරිපාල, සුමතිපාල හා ලයනල් ඇතුළු සිරකරුවෝ ආරක්ෂක මුරකාවල් ඇතිව බන්ධනාගාර රියකින් උසාවියට ගෙන යනු ලැබූහ. මරු සිරා ගැන ඒ වන විටත් ලැබී තිබූ ප්‍රසිද්ධිය නිසා මිරිසවැටියේ සිට උසාවිය දක්වා ගෙන එන සිරකරුවන් බැලීමට සමහරු මඟ රැක සිටියහ.

පලා යෑමේ නඩුවට අච්චු නියම කරන දිනයද පැමිණියේය. එම දිනය පසුවූ විට සුමතිපාල නැවතත් වැලිකඩ යවනු ඇත. ඊට පෙර සිරගෙයින් පලායෑම ඥානාන්විත වේ යැයි සුමතිපාල කල්පනා කළේය. කොළඹ යැවුවහොත් සිරගෙයින් පලායෑම දුෂ්කර වනු ඇත. එබැවින් සිදුවන්නක් සිදුවිය යුත්තේ අනුරාධපුර බන්ධනාගාරයේදී විය යුතු යැයි සුමතිපාල විශ්වාස කළේය.

මේ අතර සිරිපාලගේ මිනීමැරුමේ නඩුවෙන් අනිවාර්යයෙන්ම මරණ දඬුවම හිමිවනු ඇතැයි සිරිපාල කල්පනා කළේය. එබැවින් ඊට ප්‍රථම අවස්ථාව ලද සැණෙන් පලා යා යුතුය. නැතහොත් අනිවාර්යයෙන්ම පසුතැවිල්ලට හේතුවනු ඇත. සිරිපාල පලා යා යුතු බවට වූ පණිවුඩය සුමතිපාලගේ කනේ තැබුවේය. ඔහු එක හෙළා ඊට කැමැත්ත පළ කළේය.

ඔවුන් සමඟ එකට උසාවි ගෙනයන සීමන් සිල්වා කලක් කොළඹ කොටහේනේ පදිංචිව සිටි බෝම්බ මාස්ටර් කෙනෙකි. බෝම්බ සෑදීම සහ දමා ගැසීම පිළිබඳ සීමන් සිල්වා ලද විශේෂඥ පුහුණුවේ ප්‍රතිඵල ලෙස ඔහුගේ එක් අතක මහපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල නැත. ඇඟිලි අඩු සීමන්ට ඕනෑම අවස්ථාවක අත උල්කොට මාංචුව පන්නා ගත හැකිය.
සඳුදා උදෑසන නඩුව විභාගයට ගනී. සිරිපාල මහාධිකරණයටත්, සුමතිපාල සීමන් සිල්වා සහ පියසේන මහෙස්ත්‍රාත් උසාවියටත් ගෙන යා යුතුය.

එක සඳුදාවක සාමාන්‍යයෙන් ඔවුන් ප්‍රවාහනය කරන රථය ආපදාවකට ලක් වී තිබිණි. බන්ධනාගාරයේ ඇති කුඩා වෑන් රථය ප්‍රමාණවත් වන්නේ පොල් පටවන්නාක් මෙන් රිමාන්ඩ් සිරකරුවන් පටවාගෙන යන්නටය. මරු සිරා ඇතුළු විශේෂ ගණයේ සිරකරුවන් වඩා ආරක්ෂිතව රැගෙන යායුතු බැවින් එවැනි අවස්ථාවක අනුරාධපුර බන්ධනාගාරයේ සාමාන්‍ය පිළිවෙත වූයේ අනුරාධපුර ටවුමෙන් පෞද්ගලික කුලී මෝටර් රථයක් ගෙන්වා විශේෂ සිරකරුවන් උසාවි ගෙන යෑමය. නිතර බන්ධනාගාරයට කැඳවන 4 ශ්‍රී ඔස්ටින් කාර් රථයක් හිරගෙදරට පැමිණියේය. සිරිපාල, සුමතිපාල, සීමන් සිල්වා සහ පියසේන එහි පසුපස අසුනට නංවා ‍ෙදාරවල් ලොක් කෙරිණි. රිපීටර් තුවක්කු දෙකක් රැගත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා ඉදිරිපසින් නැංගේය. නඩු විභාග අවසන් විය. සිරකරුවන් පෙර පරිදිම නැවැත ගෙනැවිත් ඔස්ටින් රථයේ පැටවිණි. අනුරාධපුර හිරෙන් පැන යෑමේ වරදට සිරාටත්, හිතුමතේටත්, ලයනල්ටත් වසරක සිර දඬුවමක් එකතුව තිබුණේය. මරුසිරාගේ නඩුවේ තීන්දුව හෙට දිනට කල් ගියේය.

මේ අවස්ථාවේ අනපේක්ෂිත දෙයක් ද සිදුවිය. ජේලර්වරයකු අනෙකුත් සිරකරුවන් සමඟ වෑන් රථයේ ඒම පිණිස නතරවී, රයිපලයක් අතින් ගත් පොලිස් නිලධාරියකු ඔස්ටින් රථයට නැඟීම ඒ හදිසියේ ඇති වූ වෙනසයි.

සිරිපාල සිය මෙහෙයුම ආරම්භ කළේ උසාවියේ සිට කදිරේෂන් කෝවිල පසු කරන විටය. ප්‍රථමයෙන් කළ යුතු වන්නේ දඹර ඇඟිල්ල සහ මහපට ඇඟිල්ල අහිමි අත උල්කර මාංචුව පන්නා ගැනීමය. සිරිපාල ඇසෙන් දුන් විධානය අනුව අත පන්නා ගැනීම යාළුවා ආරම්භ කළේය. එය හිතුවාටත් වඩා පහසුවෙන් කෙරුණේය. සීමන්ගේ දෙඅත් මුළුමනින්ම නිදහස්ය. එහෙත් හඬ නොනැඟෙන සේ මාංචු එලෙසම තබා ගත්තේය.

ඉන්පසු දෙවැනි පියවර එළැඹියේය. එනම් ජේලර් මහතාගේ සාක්කුවේ ඇති මාංචු ගලවන යතුරු කැරැල්ල පික්පොකට් ගැසීමයි. දක්ෂ පික්පොකට් කරු පියසේන අවස්ථාවක් බලා එය හරියටම කළේය. ඉන්පසු මෙහෙයුමේ තුන් වැනි පියවර ඇරැඹියේය. යතුරු කුට්ටම හඬ නොනැඟෙන සේ හුවමාරු කරගනිමින් එකිනෙකාගේ අත් මාංචුවලින් නිදහස් කරගත යුතුය. මිනිත්තුවකටත් අඩු කාලයක් තුළ මාංචු ගැලවීම අවසන් වූයේය. දැන් මාංචු කුට්ටම් තුනම තිබෙන්නේ රබර් සීට් උඩ තුන්පළකය.

මල්වතු ඔය පාලම මතට පිවිසෙනවාත් සමඟ රියැදුරු 'ෂෙල්ටන්'ගේ ගෙල වටා අත්දැමූ ලයනල් ඔහුගේ හිස උඩු අතට නවා ගත්තේය. කාරය පාලම් ඇන්දේ හැපී නතර වූයේය. මරු සිරා දුන් පහරින් වම් පස දොර ඇරී සාජන් මහතා පාරට වැටුණේය. වහා නැඟිට ගත් සාජන් මහතා රිපීටරය මරුසිරාට එල්ල කරනු දුටු හිතුමතේ වලහකු මෙන් ජේලර් වෙත කඩා පැන්න අතර දෙදෙනා පාලමේ ඇඳි අතරින් මල්වතු ඔයට නොවැටී බේරුණේ අසීරුවෙනි. තුවක්කු උදුරා ගැනීම සඳහා ඔවුනොවුන් අතර බිහිසුණු සටනක් ඇරැඹුණේය.

සාජන් අතින් එක් වෙඩිල්ලක් පත්තුවූ අතර ඉලක්කය වැරැදීම නිසා එය අසල වූ කොහොඹ ගසක වැදිණි. පසු නොබලා දුවමින් සිටි ෂෙල්ටන් වෙඩි හඬට හා වඳුරන්ගේ හඬට ආපසු හැරී බැලූවිට දුටුවේ තුවක්කු සිරකරුවන් අතට පත්වීම නිසා තමා සිටින දෙසටම දිව එන සාජන් මහතා සහ ජේලර්ය. ඊළඟ මොහොතේ පැයට සැතපුම් 60ක වේගයෙන් රතු පැහැති ඔස්ටින් ෂරීනා රථයක් අනුරාධපුර ඇළදපත්තුව දෙසට ගමන් කරනු පෙනුණේය. ලයනල් විසින් පදවනු ලැබූ කාරයේ ඉදිරි අසුණේ 303 වර්ගයේ රයිපලයක් අතින් ගත් මරුසිරා නොහොත් සිරිපාල වාඩි වී සිටියේය. පසුපස වම් පස අසුනේ සිටියේ රිපීටර් තුවක්කුවක් අතින් ගත් හිතුමතේ නොහොත් බී. ඩී. සුමතිපාලය.

මරු සිරා තවත් බිහිසුණු අපරාධකරුවන් තිදෙනකු සමඟ සිරෙන් පැනයෑම පසු දින පුවත්පත් මහ ඉහළින් වාර්තා කර තිබුණේය. මේ අසුබ ප්‍රවෘත්තියත් සමඟ රජරට ප්‍රදේශය හෙල්ලුම් කෑවේය. මරු සිරාගේ නඩුවේ තීන්දුව දුන්නේ විත්තිකරු නොමැතිවය. ඔහුට මරණ දඩුවම නියම විය. ඔස්ටින් රථය කැලෑ මණ්ඩියක අත්හළ සිරකරුවෝ ඇලැපත්තුව කැලයට වැදී සැහැල්ලුවෙන් ගමන් කළහ. එදින සන්ධ්‍යා භාගයේ ඔවුන් ප්‍රථමයෙන් කළේ වැවකට පැන සිත් සේ නාගැනීමය.

පසු දින මරු සිරාගේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරන මොහොතේ ඔවුන් සිටියේ දියතිත්ත වැව ප්‍රදේශයේ මිතුරකුගේ හේනක පිපිඤ්ඤා කමින් අල්ලාප සල්ලාපයේ යෙදෙමින්ය. මරු සිරාගේ පපුවේ "මරුවා සමඟ වාසේ" යනුවෙන් පච්ච කොටා තිබේ. එය දුටු සුමතිපාලට පච්චයක් අවශ්‍ය විය. එදා හැන්දෑවේ පච්ච කොටන අඩුවැඩිය රැගත් මිනිසකු හේන් යායට ගෙන්වාගත් මිතුරු පිරිස තම තමන් කැමැති පච්ච කොටා ගත්තෝය.

සුමතිපාල කවුරු මොනවා කිව්වත් හිතුමතේ වැඩ කරන නිසා ඔහුගේ පපුවේ "හිතුමතේ" කියා කෙටීම වඩා සුදුසු බව කාගෙත් අදහස විය. දෙද්දුවගේ සිරිපාල නොහොත් මරු සිරා සිය අත්අකුරින් සුමතිපාලගෙ පපුවේ "හිතුමතේ" යනුවෙන් සලකුණු කළේය. පච්චා කොටන ඇන්ටනී එම අකුර සුමතිපාල ජීවත් වනතුරු නොමැකෙන්නට තහවුරු කළේය. එය කොටා අවසන් වන විට සුමතිපාලගේ ඉල්ලීම වූයේ ඔහුගේ නැඟණියගේ නමත් බාහුවේ කෙටිය යුතු බවය. එයද ඒ අයුරින් ඉටුවිය. සුමතිපාලගේ බාහුවේ "කුසුමා ඔබ නිසා" යනුවෙන් කුඩා අකුරින් සටහන් කළේය.

යුද හුමදාවේ සහ පොලිසියේ උසස් නිලධාරීන් සාකච්ඡා කොට රජරට පුරා ආරක්‍ෂාව තර කර තිබුණි. දහසකට අධික භට පිරිසක් යොදවා පළමු කොටම ඇලයාපත්තුවේ වනය කොටු කොට දැඩි පරීක්‍ෂාවට ලක්කළහ. එහෙත් පලාගිය සිරකරුවන් සම්බන්ධ කිසිදු තොරතුරක් ලැබුණේ නැත. අනුරාධපුර පොලිස් අධිකාරි මහතා විශේෂ වැඩපිළිවෙළක් සකස් කළ අතර එම මෙහෙයුමට අනුව සන්නද්ධ කුඩා භට කණ්ඩායම් දිස්ත්‍රික්කයේ කැලෑ මාර්ගවල රාත්‍රි කාලයේ තන්හි තන්හි යෙදවිණි. එම කණ්ඩායම්ද අනුරාධපුර අවට කැලෑ ප්‍රදේශවල හේන් යායවල සැරිසැරූහ. එහෙත් පලාගිය සිරකරුවන් පිළිබඳව කිසිදු ආරංචියක් පොලිසියට ලැබුණේ නැත.

දින ගණනකින් පසුව පොලිස් ඔත්තුකරුවෙකු දැනුම් දුන්නේ කුඩා හෝටලයකින් අවේලාවේ කෑම පාර්සල් කිහිපයක් සකස් කරවාගෙන කැලයට ගමන් කළ නොහඳුනන පුද්ගලයකු ගේ අතේ ඇඟිලි කිහිපයක් අඩු බවය. අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්‍ෂක නලින් දෙල්ගොඩ මහතා ගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්‍ෂක සිසිල් කාරියවසම් ඇතුළු කණ්ඩායමක් පිටත් වූ අතර ඔවුහු වනයට ඇතුල් වී ඉදිරියට ගමන් කළහ. මේ කණ්ඩායමට අපරාධකරුවන් සිවු දෙනා හදිසියේම හමු වූ අතර මරුසිරා සාජන් කෙනෙකුට පොල්ලකින් පහර දී ස්වයංක්‍රීට ගිනි අවියක් උදුරා ගන්නට තැත් කළේය. මෙහිදී සිසිල් කාරියවසම් මහතා ඔහු සමඟ පොරබදා අල්ලා අත්තේය. සෙස්සෝ පැන ගියහ. මරුසිරා ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට හැකි වීම පොලිස් පිරිසේ විශාල ජයග්‍රහණයක් ලෙස ඔවුහු සැලකූහ.

පැය තුනක් පමණ කල්ගතවූ පසු පැරැණි වැව් බැම්මක් මතදී හිතුමතේ සහ ලයනල් නැවැත හමුවූහ. දින කීපයකට කලින් දින දෙකක් නතර වී සිටි හේනක තවත් දින දෙකක් රැඳෙන්නට ඔවුහු තීරණය කළහ. මිනීමැරුම් චෝදනා ගණනාවක් ඇති සුමතිපාල නොහොත් හිතුමතේ අල්ලා ගැනීම සඳහා ඔත්තු සපයන්න යැයිද පොලිසිය මහජනයාගෙන් ඉල්ලා තිබුණේය. දින දෙකකට පසු ලයනල් සහ පියසේන අනුරාධපුරයට ආයුබෝවන් කියා පිටවී ගියේය. සුමතිපාල වැඩි අමුත්තක් නොපෙන්වා හේන් ගොවිතැන් කළ මිතුරාට උදවු වෙමින් හේනටම වී සිටියේය.

එක් ඉරිදාවක වට්ටක්කා කොළඹ පටවන ලොරිය පැමිණියේය. හේන් කිහිපයක වට්ටක්කා පටවා ගත් ලොරිය කොළඹ යන්නට පිටත් විය. හිසේ ජටාවක් බැඳගත් හිතුමතේ වට්ටක්කා ගොඩේ වාඩිවී සිටියේය. ලොරිය උදෑසන කොළඹ බලා ගමන් කළේය.

කුරුණෑගල නගරයේදී හිතුමතේ වට්ටක්කා ලොරියට සමු දී බැස ගියේය. ඔහු සිරගෙදරදී හඳුනාගත් යහළුවකු වූ රත්නේ සොයා කටුපොත ගියේය. රත්නේ සමඟ දින කීපයක් ගත කළ ඔහු රත්නේගේ නිවෙසේ තිබූ මෝටර් සයිකලයෙන් රවුමක් දෙකක් ගසා පුහුණු විය.

Revange Season 4

දිනක් යහළුවගේ මෝටර් සයිකලයේ නැඟුණු හිතුමතේ අවසන් මෙහෙයුම ආරම්භ කිරීම සඳහා බුද්ධි දත්ත රැස්කර ගැනීමට පල්ලම බංගදෙණිය හරහා ආරච්චිකට්ටුවට ගියේ එම නගරවල මස්කඩ කිහිපයක් පවත්වාගෙන ගිය මුදලාලි දැක හඳුනා ගන්නටය.

ආරච්චිකට්ටුව හන්දියට ඔබ්බෙන් හලාවත පැත්තට වෙන්නට ගැස්ටන් මුදලාලිගේ නිවෙස තිබුණේය. ඔහුගේ දින චර්යාව නිසැකව තේරුම් ගන්නට සුමතිපාල දින තුනක් කුරුමානම් ඇල්ලුවේය. දින තුනේම සවස 4.30ත් 5.00ත් අතර නිවෙස ඉදිරිපිට මෝටර් රථය නැවැත්වූ පසු මුදල් පාර්සලයත් රැගෙන නිවෙසට ගියේය. සිය දඩයම මස් කඩ අසල කරන්නට යෑම එතරම් නුවණට හුරු නැතැයි හිතුමතේ කල්පනා කළේය. එහිදී ශිල්ප දක්වන්නට ගියොත් තමාගේ මරණ දඬුවමද ඒ ස්ථානයේදීම ක්‍රියාත්මක වන්නට ඉඩ තිබේ. එසේ නම් තම වැඩේට අත ගැසිය යුත්තේ මුදලාලිගේ නිවෙසේදීය.

දින කීපයක් මිතුරාගේ නිවසේ සිටි සුමතිපාල මල්වත්තේ ඉලිප්පදෙණිය හන්දියේ තරමක් සරුවට පවත්වාගෙන යන කම්හලකට ගොස් පොල් කෙක්කට දමන පිහියක් සාදවා ගත්තේය. පිහියේ වැඩ අවසන් වූ දින ඔහු මෝටර් සයිකලයේ ගොස් පිහිය ගෝනියක ඔතාගෙන මස් කඩ මුදලාලියා හමුවන්නට ගියේය. මුදලාලිගේ නිවෙසට නොදුරින් වූ මල්මාර ගස යට බයිසිකලය නතර කළේය. නියමිත වේලාවට මුදලාලිගේ රිය ගේට්ටුව පසුකර නැවත්විය.

හිතුමතේ ගෝනියෙන් එළියට ගත් පිහිය පිටුපසට කර අල්ල ගෙන සිටියේය. මුදල් පාර්සලයත් බ්‍රැන්ඩි බෝතලයත් අතින් ගත් මුදලාලි කාරයේ දොර ඇර එළියට පා තැබුවේය. හිතුමතේ වේගයෙන් මුදලාලි කරා පැමිණෙමින් සිටියේය. මුදලාලි ඔහු දුටුවේ ඉතා සමීපව එමින් සිටියදීය. හිතුමතේගේ මුහුණේ වූ වියරු සිනහව දුටු ගැස්ටන් මුදලාලි තැතිගත්තේය.

"ඒයි කවුද මිනිහෝ උඹ?' ඔහු කෑගසමින් මුදල් පාර්සලය කිහිල්ලට සිරකරගත්තේය.
"මුදලාලි මහත්තයෝ මම සුමතිපාල. කුසුමාවතීගේ අයියා." හිතුමතේ කෑගැසුවේය.

මුදලාලි භීතියෙන් මුසපත්ව කාරෙක දෙසට ආපසු හැරුණේය.
ඉදිරියට පැන්න හිතුමතේ කෙක්ක පොල්වල්ලට දමන්නාක් මෙන් ගැස්ටන් මුදලාලිගේ බෙල්ලට දමා ඇද්දේය. කඳින් වෙන්වූ බෙල්ල පළමුවත් මුදලාලි දෙවනුවත් ගෙය ඉදිරිපිට කානුවට වැටුණේය.

මේ සිදුවීම කිසිවෙකු දැක්කේ නැත. පොල් කඩන වක් පිහිය කානුවට විසිකළ හිතුමතේ ආපසු හැරී මල් මාර ගස යට නතර කර තිබූ මෝටර් සයිකලය වෙත ගොස් පිටත් විය. නමුත් මේ අවස්ථාවේ ඔහු කැපූ හිස රැගෙන ගියේ නැත.

පසුව මුදලාලිගේ බිරිඳ ට මළසිරුර හමුවිය. හිතුමතේ කටුපොත රත්නපාලගේ නිවෙසට ගියේය. මෝටර් සයිකලය වෙනදා නවතා තබන ස්ථානයේම තැබූ ඔහු බාල්දිය රැගෙන ළිඳ කරා ගොස් මුහුණ දොවා ගත්තේය. එදින රාත්‍රියේ බොහෝ වේලා කල්පනා කළේය. පළිගැනීම අවසන් වී ඇත. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සිදුවූ හැම සිදුවීමක්ම ඔහුට මෙනෙහි වූයේය. නින්දට ගිය ඔහු නින්දෙන්ම බොහෝ දුරක් පයින් ගමන් කර පසුදින උදයේ වැවක් අයිනේ වැටී සිටියේය. එතැනට ආවේ කෙසේ දැයි ඔහුට මතකයක් නොවීය. පළිගැනීමේ සිතිවිල්ල හිතුමතේ තුළ ගොඩනඟා තිබූ ජවය හා උත්තේජනය ඒ වන විට සිඳී තිබුණේය. දැන් සියල්ල අවසානය. තවදුරටත් තමා ජීවත්වීම අවශ්‍ය නොවේ. නමුත් බියගුල්ලෙකු සේ නොමැරෙන්නට ඉටා ගත් ඔහු පාරක් සොයා ගමන් කළේය. පාරේ ගිය ලෑන්ඩ්මාස්ටර් රථයක තරුණයෙක් ඔහුවද නංවා ගත්තේය. එය හලාවත නගරයට ඇතුළු වූ විට ඔහු එයින් බැස ගත්තේය. කෘතවේදී සිනාවකින් එය පැදවූ තරුණයාට ආචාර කළේය. හිතුමතේ ඉන්පසු පොලිස් ස්ථානය සොයා ගියේය. පැමිණිළි ලියන පොලිස් නිළධාරියාට ඔහු තමාව හඳුන්වා දුන්නේය.


Aftermath

නැවතත් පුරුදු සිරගෙදරට ආ සුමතිපාල සුළු කලකට පසු සිය නිවෙස සහ ඉඩම යාබද පන්සලට පවරා දී පියාටත්, මවටත්, නැඟණියටත් පින් අනුමෝදන් කළේය. සති දෙකකට පසු සුමතිපාල බෝගම්බරට මාරු කෙළේය. එහිදී නැවතත් මරුසිරා හමුවූ අතර පසුව මරුසිරා එල්ලා මරන ලදී. මෙය සුමතිපාලට කණගාටුදායක දෙයක් විය.

මිනිමැරීමේ චෝදනා 04ක් සම්බන්ධයෙන් එල්ලා මරා දැමීමට නියමිතව සිටි හිතුමතේ නැමැති සිරකරුට එවකට හිටපු ජනාධිපති විලියම් ගොපල්ලව මහතා විසින් මරණ දඬුවම අත්හිටවා වසර 90ක සිර දඬුවමකට යටත් කෙරුණි.

සිරගත ජීවිතයේදී ඔහුට විශාල මිතුරු පිරිසක් ඇසුරු කිරීමට අවස්ථාව ලැබුණේය. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, රෝහණ විජේවීර, විජය කුමාරණතුංග, නන්දන මාරසිංහ වැනි කීර්තිමත් මිනිසුන් ඔහු සමඟ එකම සිර කුටියේ සිරගතව සිටියේය.

අනතුරුව (තමා සමඟ එකට සිරබත් කෑ) වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔහුට ජනාධිපතිවරයාගේ උපන් දිනය දා සමාව ලබා දුන්නේය.

ඒ අනුව සුමතිපාල නොහොත් හිතුමතේ ජීවිතය සිරකරුට 2013 නොවැම්බර් මස 24 වන දා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ අතර ඔහුට පෙබරවාරි මස 04 වනදා ජනාධිපතිතුමා විසින් ත්‍රිරෝද රථයක් ද ප්‍රදානය කරනු ලැබිණි. ඔහුට කොළඹ පිහිටි අරලියගහ මන්දිරයට ගොස් ජනාධිපතිතුමා හමුවීමට අවස්ථාව ලබා දී තිබුණි. 17 වැනි වියේදී සිර ගෙදරට පැමිණි ඔහු වසර 41ක සිරගෙයි ජීවිතයෙන් ජනාධිපති සමාව ලබා නිදහස් වන විට වසර 58ක වියපත් මිනිසකුව සිටියේය.

(ඉහත කතාව මවුබිම පුවත්පතට හිතුමතේ විසින් කිවූ තොරතුරු අනුව උදේනි සමන් කුමාර මහතා විසින් පල කළ ලිපි ඇසුරින් සකස් කරන ලදී. මෙම ලිපි පෙළ තවමත් අවසන් වී නැත. වැඩිදුර තොරතුරු සඳහා මවුබිම කියවන්න.)







 




No comments:

Post a Comment